(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ය. )
යම්
සිද්ධියක් තුළ ඒ ඒ ආස්ථානයන් තුළ අතිශය පෞද්ගලික වූ කාරණා පොදු කාරණා ලෙස හුවා
දක්වමින් ජාතික ගැටළුවක් කොට ගැනීම බාල ක්‍රියාවකි. “නියපොත්තෙන් කඩන්න ඕනේ එක,
පොරවෙන් කපන්න වෙනකං ඉන්න හොඳ නැහැ” ගමේ පැරැන්නන් එහෙම කීවේ කට කහනවට නොවේ ය.
සාකච්ඡා කොට තීන්දු තීරණ වලට එළැඹියානම් පෞද්ගලික ගැටළු ජාතික ගැටළු දක්වා විහිද
යන්නේ නැත.
අඹුඩය
ලිහාගෙන පිලේ වැලේ දාගන්නට බැරි එවුන් අනුන්ගේ යට ඇඳුම් ගැන තැවී, ශිෂ්ටත්වය ගැන
පතරංග ජාතක කතාන්දර ගොතමින් ද ජාතික මාමකත්වය ගැන කියා දෙස් දෙවොල් තබමින් ද
ඇවිදින නියා දුටු නිසාවෙන් ජාතික ගැටළුවක මූලාරම්භය සොයා
ගියෙමි. එහිදී හමුවූ ස්විශේෂ පුද්ගලයින් අතින් හෙලිවූ මෙම කතාන්දරය පෞද්ගලිකත්වය
ආරක්ෂාවනු වස් හා ඔවුන්ගේ ආරක්ෂාව ගැන තකා මනඃකල්පිත ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නට මා අදහස් කරමි. එහෙයින් මෙය සත්‍යය කතාව පසුබිම් කරගත් මනෝමූලික ගෙතිමක් වග
නුඹලාට හැඟෙනු ඇත.
[ මෙය බොහෝ ගිය අවුරුද්දේ දවසක මේ රටේ සිදු වූ එක්තරා ජාතිවාදී ගැටළුවක මූලයේ ඇඳුනු කතාන්දරයකි. එහෙත් එහි ස්වරූපය මිනිසුන් ඉදිරියේ දෘශ්‍යමාන වූයේ වෙනත් අයුරකිනි. ඒ තුළ දේශපාලනය වීය. එහෙත් මෙය දේශපාලනය ගැන කතාවක් නොවේ. ඒ ගැන ලියන්නට හොඳම දවස අද නොවන නිසා පසුවට තබා මේ කතාව ලිවිය යුතු යැයි සිතමි ]
නිර්මලා
ලා මේ භූමියේ දී විඳි අකටයුතුකම් බොහෝ ය. කාලයකට නිර්මලාගේ හිත වේලුනු පරඬැලක්
වාගේ ය. එය ගිණි තිබ්බෝතින් චිරි චිරි ගා ඇවිලෙන්නේ ය. හුඟක් වෙලාවට හිතේ මස්
වැදලි පවා හේතුවක් නැතුවම රිදුම් දෙනවා ය. මිනිසුන් ජීවත්වෙන්නේ ආශාවන්
අරමුණුකොටගත් ලෝකයක වග නිර්මලා දනී. එහෙයින් දැන් දැන් ඈට ද ඕනෑ අරමුණු කොටගත්
ආශාවන් වලින් සංසිඳෙන්න ට ය. රාහුල ලා වදන්නට ඈ යශෝදරාව නොවේ ය. අනෙක් අතට පෝය හඳට
පන්සලට ගාටන පියදාස සමඟ අතිනත ගත්ත ද පියදාස සිදුහත් කෙනෙක් නොවේ ය. ඉඳින්
නිර්මලාට කල්කදුරු තිත්ත වූ ඇගේ ජීවිතයට නිවීමක් ඈ සෙව්වා ය.
ගමේ
එවුන් කතාවට කියන්නේ, කේරළ ගංජා ගහන එවුන්ට හෙණ ගහන්න ඕනෑ කියාය. ඒ උනාට හඳ පානේ
රොකොට්ටුවක් හදාගෙන හඳ එළිය යට හඳට බඩගාන සූස්තිකාරයන් ගැන නිර්මලා හොඳින්ම දන්නවා
ය. උන්ට ගැසූ හෙණයක් නම් නැත. සැරින්
සැරේට අමතපදන් වෙන පියදාස නිදි යහනේ දිගෑදෙන විට හෙණ ගැහුවත් හඳ පානට කිට්ටු
වෙන්නට නිර්මලා සිතුවා ය. නිර්මලාට ඕනෑ මත්වෙන්නට ය. ඒ මත් බාවයෙන් කෙඳිරි ගාන්නට
ය. ඒ සිතීමට තටු ලැබෙන්නට සෑහෙන කාලයක් ගත වූයේ, ඔය පොත් පත්තර කතාවල කියන්නා සේ
දොරට තට්ටු කරන්නට හෝ ජනේලයට තට්ටු කරන්නට දීඝ ගාමිණි කෙනෙකු ගම මුළු ආසන්නම ඇවිද
ගිය ද නොසිටි නිසාය.
“තොපේ
පිරිමිකම දීපල්ලා බල්ලන්ට..” නිර්මලා සිතුවේ එහෙමය. හොරි හැදුනු විට කසන්නට කසන්නට
සනීපය. තමා කසා ගන්නවාට වඩා වෙන එකෙකුගේ ඇඟිලි තුඩින් කැසෙන විට වඩා ප්‍රියය. රෝගය
ගැන දන්නේ රෝගය හැදුනු එකෙකු මිස, රෝගය නොසැදුණු අත්දැකීම් රහිත එකෙකු නොවේ ය.
එහෙයින් කුෂ්ටය කසා ගන්නට නම් කුෂ්ටය හැදුනු එකෙක්ම සොයා ගත යුතුය යන්න නිර්මලා
දනී.
අතපය
රැළි වැටුණු පිරිමින්ගේ අත් පා පවා දහඩියෙන් කුණු වූ තරුණියන්ගේ මළ මිනී අභියස
දහඩියෙන් තෙත්වන වග නිර්මලා කොහෙන් හෝ කාගේ හෝ පොතක කියවා තිබිණි. ඇගේ පපුවේ
උණුසුම ද ගතේ ඉලිප්පෙන රෝම කූප ද ආශාවෙන් නලියන කළ නොමැරී එයැ විඳින්නට ඈ දිනය
එනතෙක් බලා සිටියාය.
සංස්කෘතිය
විශ්‍රාම අරගෙන ය. ජාතිය වලපල්ලේ ය. අප සිටින්නේ තවමත් ලිං පතුලේ ය. මොහොමඩ්ට
පල්ලියට දුවද්දී හිතෙන්නේ එහෙමය. දැන් දැන් ඔහුට පල්ලිය ඝෝෂාවකි. සාම්බාරු හොද්දත්
- තොසේත් චිරි චිරි ගා අනාගෙන කන ඔහුට වඩේ ගෙඩියක් බෙලෙක් පිඟානට වැටෙන විටත් දුක
හිතෙනවා ය. ඒ දුක වෙනස්ම දුකකි. එය අනෙකුන්ට නොදැනෙනවා ද දැනෙනවා යන්න ඔහුට
සිතන්නට ශක්තියක් ද නොතිබිණි. ඔහු ඒ තරමටම ආශාවන් මත නැහෙන එකෙකු වූවා ය.
සාම්බාරු
හොද්දේ වට්ටක්කා කෑලි ද නානා හෝරාට බෝංචි ඇට කියා දැමු මෑ ඇට ද දකින විට ඔහුගේ සිත
තරහවක් පිළිසිඳ ගනී. ඒ තරහවෙන්ම ඔහු මොකක්දෝ සතුටක් භුක්ති විඳින්නට විය. මොළ කුහර
තුල වධ දෙමින්, හැල හැප්පීම් ඇති කරමින්, හදවතේ පටක ඉලිප්පෙමින්, පිහි තුඩකින්
අනින්නාක් මෙන් විටක රිදුම් දෙමින් නළියන සිතිවිල්ල විටෙක වේදනාවකි. විටෙක සතුටකි.
විටෙක ජීවිතයම හිස් වූ බවකි. තවත් විටෙක සිහිය තුලම අමුතුම උමතුවකි. රාත්‍රී යහනේ
දිගෑදෙන විට අඳුර පට ඉරමින් බාල්කයේ විහිදුනු මකුළු දැල තවමත් වියන - අම්මා එහෙත්
සැරින් සැරේ ට කඩා ඉහිරවන - මකුළුවන් එහෙත් උත්සාහය අත නොහැර තව තවත් වියන මකුළු
දැල දකින විට බොහෝ දෑ ඔහුගේ සිතට දැනෙයි. වෙලාවකට දියාරු කඳුළු ය. ඒ කඳුළු ද අපෝ
වී ඇත.
ඒ
මොහොමඩ් ය. අර නිර්මලා ය.
ඔවුන්
දෙදෙනාම සංජානනය නොහඳුනයි. එක තැනක පෙට්‍රල් ය. අනෙක් තැන සුදු සුමුදු මෘදු පුළුන්
ය. අවශ්‍යය වූයේ ගින්දර ය. ගින්දර දෙන්නට එකෙකු සිටියේ නැත. එහෙයින් ඔවුන්ගේ
බැල්මෙන්, මඟ තොට හමුවීමෙන් අවුළුවා ගත්තෝ ය.
“
ඔයා මාව දාලා යන්නේ නැහැ නේද.. මට ආදරෙයි නේද?” නිර්මලාගේ හුරතලය ළඟ මොහොමඩ් අසරණ
විය. යහන්තලාවේ උඩු අතට හුස්ම අදින ඔහුගේ හුස්මෙන් පිටවෙන සුසුමකි. සර්වආගමික,
සර්වජාතික නිර්මලාට පූට්ටුවීම කෙසේ වෙතත් සමාජය හා ලෝකය මේවා දැනගත් පසුව දත් තිස්
දෙකම විලිස්සන වග මොහොමඩ් දනී. නිර්මලා ද නොදැන සිටියාම නොවේ ය. එහෙත් මේ ඇවිලෙන
ඇවිලිල්ලට ඈ පෙම් බැන්දා ය. නිවුණු සීතල පියදාසට වඩා ගිණි ගන්නා මොහොමඩ්ට ඈ ආදරේ
කළා ය.
එහෙත්
මේ ආදරය වැඩි කාලයක් තිබුනේ නැත. අයිස් වලට ද පිච්චෙන්නට, පුළුස්සා දමන්නට හැකි වග
සපත කරමින් පියදාස ගිණි ඇවිලෙන්නට විය. මේ මහා ඛේදවාචකයේ මූලාරම්භය එතැනය. එහෙත්
අතීතයේ පස් පිඩල්ලෙන් වැසී ගිය මෙම ගිංතොට අන්දරයේ අළු යට ගිණි සේ සැඟවී තිබෙන වග
කිසිවකු දැන සිටියේ නැත.
දකුණේ
මිනිසුන් සුන්දරය. ඔවුන්ගේ හදවත් වල මනුක්ෂත්වය පිරි ඉතිරි ගොසිණි. මොහොමඩ් ලා
ෆාතිමා ලා පියදාසලා නිර්මලා යනු අවුරුද්දට නෑගම් ගිය එවුන් ය. දීපවාලි දවසට කැඳ
උගුරත් බෙදාගෙන බීපු එවුන් ය. හවසට පොඩි එවුන් මහා එවුන් එකතු වී වෙල් එළියේ ක්‍රිකට්
සෙල්ලම් කළ එවුන් ය. ගමේ මගුල් ගෙයකදී පදම වැරදී සූර් වී සිටි එවුන් කෙලගත්තාට
මොකද ඒවා වැඩිකල් තිබුනේ නැත. පහුවදාට ඔවුන් එකට එක්කාසු වී එකිනෙකා වැළඳ ගත්තෝ ය.
ඒ භූමියේ එවුන් ජාතිකවාදය හෝ ආගමික වාදය කියන ඒවා දන්නේ නැත. ඒවා උන්ට බරපතලය වචන
ය. ගමේ චණ්ඩින් ගමට ය. එළියේ දී උන් අහිංසක පූස් පැටවුන් ය. බහතෝර ගන්නට බැරි වූ
අහිංසකයින් ය.
එදා
ක්‍රිකට් තරඟයකි. මාලිංගලා බිහි කළ දකුණට ක්‍රිකට් යන්න හෝ ක්‍රිකට් මැච් එකක්
යන්න අමුතු දෙයක් නොවේ ය.
කොල්ලෝ
කුරුට්ටෝ කල්ලි ගැසෙන - බූට් කාපු එකා හිනා වෙන - දෙපැත්ත කැපෙන වාචාල කුණුහරුප
කියන - නම් පට බැඳෙන - පට බැඳෙන නම් වලට හුචු හුචු ගා සිනාසෙන - පැරණි මතකයන් දිග
ඇරෙන - හිතේ ආවේගයන් ක්‍රිකට් බැට් එකට වදින බෝලයට එකතු කරන - ජයග්‍රහණයක්
ඇති(නැති) - පරාජිතයෙක් ඇති(නැති) - පැත්තකින්
සාමයේ දුම සුරුට්ටු වන - තවත් පැත්තකින් යුද්ධයේ වතුර පපුවේ පහලට පල්ලම් බහින -
පිපාසයට දිය බිඳක් වෙනුවෙන් අල්ලපු වත්තේ කුරුම්බා ගෙඩිය බිමට වැටෙන, එය ක්‍රිකට් මැච් එකකි.
එතැන
පිල් දෙකකි.
අම්මාට
අම්මා ම කියන - තාත්තාට අප්පා කියන - සිංහල කෙල්ලන්ට ඔච්චම් කරන - වැහෙන්නට ලෝගු
අඳින - හිසට තොප්පි දාන - සිකුරාදාට මොන වැඩේ තිබ්බත් ගීතාව අසන - සිව් කොණ හලාල්
වූ එවුන් එක පිලකි.
අම්මාට
අම්මාම කියන - තාත්තාට අප්පච්චි කියන - ෆාතිමාලා ගැන සිතින් ලතැවෙන - පෝයට පන්සල
මඟ අරින - ලේ වලත් බෞද්ධකම උතුරන - සිව් කොණ අවිහිංසාවාදය උතුරන එවුන් එක පිලකි.
“
නෝ බෝල්..” කියා විධානය දුන්විට ද ඔවුන්ගේ කසු කුසුව අල්ලන්නේ නැත. ප්‍රේක්ෂකයින්ගේ
හූව වෙනදාට වඩා සද්දය. ඒ නිසාවෙන්ම ස්වකීය භාෂාව පිටිය මැද ඊට වඩා සද්දෙන් ය. එය
නොතේරෙන එවුන්ගේ මුහුණේ කුහුලය.
දහඩිය
පෙරාගෙන - පොළවේ පස් හප්පාගෙන - ටෙනිස් බෝලයට වැඳගෙන - නේත්‍රා දෙක විකෙට්ටුවේ
තියාගෙන බෝලය දැම්ම ද හයේ පාරවල් ය. නැත්නම් හතරේ පාරවල් ය.
“අඩෝ
කැච් එක.. ෂිට් ! මොන” ඒවා හැමෝම දන්නා වචන ය. සමහරු නම් හිනා වෙනවා ය. කෙල්ලෝ නම්
චී ඊයෑ කියනවා ය. ඒ උනාට මේ වෙලාවට සභ්‍යත්වය
සුරකින්නට බැරිය. කෙසේ හෝ දිනන්නට ඕනෑ ය. දිනුවේ නැත්නම් වැනසෙනවා ය. රෙද්දක්
ඇඳගෙන පාරේ යන්නට බැරි ය.
ඒත්
උන් ගමට ඇවිදින් ගමටම ගසා ගියා, රෙදි ගලවා ගියාය.
“දිනනවා
- පරදිනවා ඕවා එහෙමයි..ආතල් එකේ ඉඳපල්ලා..” පණ්ඩිත ඈයෝ එහෙම කීවද පපුව කකියනවා ය.
පපුවේ කකියාම නිසා ලේ උණු වෙනවා ය. ලේ උණුවීම සියොළඟ දවනවා ය.
“
මටනම් අල්ලන්නේ නැත්තේ අරූව.. ඕකා නිර්මලාගේ..” එය ප්‍රේක්ෂකයින්ගේ කණ්ඩායම් වලින්
ඇසෙන කසු කුසු හඬ ය.
“
කෙළින්න තියෙන්නේ බං.. ඔකුන්ගේ වාහනයක් හප්පලා හරි කෙළලා අරින්න ඕනේ.. ”
පියදාසලාගේ
ලිංගික බෙලහීනකම හා ලිංගික ඊර්ශ්යාව ගැන කතා කරන්නට එකෙකු එතැන සිටියේ නැත. එතැන
ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට නිර්මලාගේ චීත්ත රෙද්ද ගලවන්නට එවුන් සිටියේ ය.
සියල්ල
විසඳ ගන්නේ පොදු ස්ථාන වලදී ය. දිනාගන්නට හැකි - නොහැකි එවුන් මහා පාරේදී කෙළ
ගත්තෝ ය. සිංහල මුෂ්ටි පහර කමින් මුස්ලිම් මුෂ්ටි පහර සිනහවට ලක් විය. ඒකෙන් තුවාල
වූයේ මුසල්මානු හදවත් වලට ය. ඒ තුවාල පසුවදා වනතුරු තිබියදී පැසවන්නට විණි. ඒ
පැසවන තුවාලයේ සැරව ඉවත් කර, සහනය සලසා ගත්තේ පහුවදා උදයේ සිංහල ගෙදරට ගිණි තබා
“තොපිට හොඳ නම් අපිට බැරිද ඩො” කීමෙන් ය.
“අඩෝ
මේක අපේ රට, එහෙම පුළුවන් ද තොපිට රඟන්න.. ලේ කකියනවා යකෝ..”
පුංචි
එවුන්ගේ ප්‍රශ්නයට මහා එවුන් හවුල් වූයේ එහෙමය. මහා එවුන් ආවේ නිකංම නිකන් අත
හොල්ල හොල්ලා නොවේ ය. ගින්දර - යකඩ පොලු - ඉනේ ගසාගත් මිලි මීටර් නවයේ ආයුධ ද
රැගෙන ය. ගෙවල් ගිණි තැබුවෝ ය. වාහන ගිණි තැබුවෝ ය.
“මේක
අපේ මාතෘ භූමිය, මේක අපිට ජීවත්වෙන්න තියෙන රට.. මගේ ජාතිය - මගේ ආගම මම රැකගන්න
ඕනේ”
සියල්ල
සර්වසාධාරණය කරගත්තේ එහෙමය. වේදනාවට පත් වූ සිංහල මිනිහා හදවතින් පමණක් නොව
දෑසින්ම හැඬුවේ ය. මොහොමඩ්ගේ පැටවුන් පියදාසගේ දරුවන් හා වෛර බැඳ ගත්තෝ ය. එය
ජාතික වෛරයක් බවට ඇවිලිලා යවන්නට කොළඹ රට සිට කඩාපාත් වූ සිවුරු පිරිකර ටිකකට
හැකියාව ලැබිණි. අගමැති තුමා ද ආවේ ය. මැතිඇමතිවරු ද ආවේ ය. පොලිස්සිය ද ඇඳිරි
නීතිය දමාගෙන බැරියර් දමාගෙන මදන කුලප්පුවෙන් බැට කන පිස්සු බල්ලන් ටික කූඩු කළෝය.
“මේක
මෙතැනින් නතර වෙන්නේ නැහැ සඳරු.. මේක තව සතියක් තියෙයි.. මුන් ආයේ ඇවිලෙනවා.. ඒක
මට සීයට දාහක් ෂුවර්.. මේ මිනිස්සු හොඳට හිටියා.. දැන් මුන්ගේ ඔලු වලට විසබීජ
දානවා පිටින් ආපු එවුන්..”
මා
ඒ ලෝකයෙන් එපිටට ආවෙමි. මෙය මිනිසුන් මරාගෙන මැරුණු භූමියකි. තිස්වසරක් තිස්සේ
සොහොන් ගෙවල් කොත් සරසවමින්, කඳුළු දිය බිව් භූමියක මිනිසුන්ගේ මනුලතැවුල් දැක ඇත.
පක්ෂාත් යුධ මානසිකත්වයෙන් බැට කන මිනිසුන්ගේ ඉහමොළ වල තව තවත් ගිණි අවුළුවන්නට
එපා ය. මේ භූමියේ අසීරුම කාලයකි. මේ කාලය කල්පනාවෙන් ගෙවා දැමිය යුතුය. එසේ නොවේ
නම් සිදුවන්නේ මහා විනාශයකි. ඒ විනාශයේ මූලාරම්භය මෙවැනි දෙයකින් ඇරඹීම අප
ලැජ්ජාවිය යුතු කරුණක් ය.
- සඳරු දසනායක
0 comments:
Post a Comment