Tuesday, May 14, 2019

හනුමා පඬුපුර නැවතත් ගිණි තබා ඇත. (01)


වයඹ ගිණි ගත් බව මම දන්නේ මගේ අම්මාගේ වචන වලිනි. ඒ ගින්න මගේ ගම් පියස ආසන්නයේම දැල්වුණු බවත්, ඒ ගින්නෙන් වේදනා විඳින මිනිසුන් දෙස බලාගෙන ඇතැමුන් සිනාසුන බවත් මම දැනගන්නේ මගේ තොරතුරු පද්ධතිය තුළිණි. 


දැදුරු ඔයේ අතු ගංගාවක් වන, කොළමුණු ඔය ගලාගෙන ගියේ ඔවුනුත් අපත් අතර දේශසීමාවක් තනවමිනි. එගොඩ ඔවුන්ගේය. කතාවේ හැටියට මෙගොඩ අපේය. එගොඩ මෙගොඩ කතාව පුදුම සුන්දර කතාවකි. එගොඩ කෙල්ලන්ට හඳුන්වන පොදු නාමය ෆාතිමාලාය. ෆාතිමාලාට ආදරය නොකළ එකදු කොල්ලෙක් මෙගොඩ සිටියේ නැත. කවුරුන් හෝ වේවා ඔවුන් ෆාතිමාලාට සිතින් පෙම් බැඳී එවුන් ය. සිත් තුළම ඉපිද සිත් තුළම මිය ගිය මේ ප්‍රේම කතා වචනයකින් හෝ එළිය ලෝකය දැන නොසිටි බවනම් සහතිකය. එවැනි තුරුණු පෙම් කතා එසේ පවතින විට, වැඩිහිටි කතාන්දර ඊට වඩා වෙනස් විය. 

හදිස්සියට මෙගොඩින් එගොඩට ණය තුරුස් ඉල්ලාගත් එවුන් ද, එගොඩින් මෙගොඩට නෝම්බි දවසට සියලු රස කැවූ  උගුරක් එවූ සිත් බැඳීම් වැඩිහිටියන් අතර තිබිණි. 

එගොඩ වැඩිහිටියන් වෙනස් ය. මගේ මතකයට නැගෙන්නේ එක්තරා සිදුවීමකි. ඒ මීට වසර පහ හයකට මත්තෙන් මා පාසල් ගිය අවදියයි. එකල ඒ මඟ ගුරු පාරකි. පාසල් යන බස් පාරට යන්නට මෙගොඩ සිට එගොඩ මුස්ලිම් ගම මැදින් යා යුතුය. නැවත පැමිණිය යුත්තේ ද ඒ මඟ ඔස්සේමය. ඉතිං පාසල් අවසන් කරමින් පා පැදිය පාගමින් පැමිණි මම පත්වී තිබුණේ ජීවිතයේ එතෙක් නොවිඳි අසරණකමකටය. පා පැදියේ පිටුපස රෝදයේ පැච් එකකි. හුළං පොදක් නැත. මට ඒ හින්දාම බයිසිකලය පැදගෙන යන්නට නොහැක. දැරිය නොහැකි විශාල පොත් බෑගයක් කරේ එල්ලාගෙන මම සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදී ආවෙමි. "කොල්ලෝ තඩි බාන්නේ හිඟන්නාටය. බල්ලා හුජ්ජ කරන්නේ ද හිඟන්නාටය" එකල හිඟන්නෙකු වූ මගේ පාත්තරයට ද අවාසනාව යහමින් ලැබෙමින් තිබුණාය. අවාසනාව නම්, කොහේදෝ සිට හමා ආ සීතල හුළඟක් ද සමඟින් අනෝරා වැස්සකින් බැට කන්නට සිදු වීමය. හී තුඩු වන් වැහි පොකුරු මගේ ඇඟ මත වැදී - වැටී මගේ ඉහකන මෙන්ම පොත් බෑගය ද කිසිදු අනුකම්පාවකින් තොරව තෙමන්නට වූවේය. පදින්නට බැරි බයිසිකලයකින් මට වැඩක් නැත. එහෙත් මම එය රැගෙන යා යුතුය. මඟ දෙපස තිබෙන්නේ සිංහල ගෙවල් ය. ඒ ගෙවල් වල මිනිසුන් මා දෙස බලාගෙන සිනාසෙනවා මිස, ඔවුන් දෙසට පැමිණ වැස්සෙන් ආරක්ෂා වන ලෙස ආරාධනා කරන්නේ ද නැතිය. පොත් බෑගය පරෙස්සම් කරගත යුතුය. එසේ නොමැති වුවහොත් අළුතින් පොත් ගන්නට කරදර කරන්නට වෙන්නේ මගේ අහිංසක අම්මාටය. මම පත් වූයේ උත්භෝටික ප්‍රශ්නයකටය. ඒ ප්‍රශ්නය එසේ තිබියදීම මම බයිසිකලය තල්ලු කරගෙන වේගයෙන් පාර දිගේ දුවගෙන වාගේ පැමිණියෙමි. දැන් මම මුස්ලිම් ගමේ ය. පල්ලිය පසුකරගෙන දිව ගියෙමි. ඒ අසල ඇති මුස්ලිම් කඩය ද පසුකලෙමි. නිවෙස් වලට වී වැස්ස දෙස බලාගෙන කල්පනාවේ සිටින අයවළුන් සියල්ලෝම මා දෙස බලන්නේ, පුදුමයෙනි. ඔවුන්ට මා දැකීම පාළු ඇස් වලට චිත්‍රපට දසුන් පෙන්වනවා වැනිය. 

සපත්තු කුට්ටමේ වතුර පිරිම නිසා අඩියක් තබන වාරයක් පාසා චිරිස් චිරිස් ගා හඬ දෙන විට මම තව තවත් වැස්ස මැදින් ඉදිරියට ඇදෙමි. එවලේම කුඩයකුත් ඉහලාගත් මිනිසෙකු පාර මැදය. මගේ ඉස්සරහය. වේගයෙන් බයිසිකලය ද තල්ලු කරගෙන හැල්මේ දිව එන මම දුටුවේ ඔහුගේ පිජාමා සරම පමණි. මගේ මඟ අවුරා දැමු ඔහුගේ මුහුණ බලන්නට මගේ නෙත විහිදන සැණෙන්, ඔහු ඔහුගේ කුඩය මගේ හිසට ඉහලින් අල්ලන්නට කාරුණික විය. කිලෝ මීටරයකට වඩා දුරක් දිව ආ මට, කිසිවෙකු නොදුන් අනුකම්පාවක් ඒ අමුතු මිනිසාගෙන් ලැබිණි. මුහුණ පුරා රැවුල වැවුන, ඒ රැවුල ද සුදුව දිගටිව වැවී තිබීම මට දැනුනේ මම ගෝල් දේශයේ වෙද පප්පා මුණ ගැසුනා වැනි හැඟීමකි. ඒ හැඟීම එසේ තිබියදී හැඬුම් එන්නට ආ නිසාවෙන් මම එය වළක්වා ගතිමි. 

"මොකද බයිසිකලේ?" කැඩුණු සිංහල වචනයෙන් ඔහු කතා කළේය. 
"කැඩිලා.. පැච් එකක්.." මම මුහුණේ දිය සූරා දමමින් කීවෙමි. 

"යමු මම දාල දෙන්නම්.. මේ හරි වැස්ස.. ඔහොම යන්නත් බැහැ.." ඔහු එසේ කියා කුඩය ද අල්ලාගෙන මට පාර අයිනේ තිබු නිවසකට ඉඟි කළේය. ඒ නිවස අරක්ගෙන තිබු අයවළුන් බොහෝය. මා ගෙට ගොඩ වදිද්දීම පෙර කී පුද්ගලයා දමිළ භාෂාවෙන් කුමක්ද කීවේය. එය පිළිගත් ඔහුගේ දුවණිය කිව හැකි තරුණියක් නිවසට ඇතුළු වී ලේන්සුවක් රැගෙන පැමිණ මට දිගු කළේය. මම වචනයකුදු නොදොඩා ඔවුනට අවනත වූයෙමි. 

"කොහෙද මේකේ හුළං යන්නේ.. කෝ බලමු.." ඔහු තනිව මුමුණමින් මගේ බයිසිකලයේ රෝදය පරීක්ෂාවක යෙදෙයි. පසුව එය ඔහු ඒ මහා වැස්සේම නිවසේ විවෘත නොතෙමෙන තැනක තබා ගලවන්නට පටන් ගත්තේය. මම ඒ දෙස බලාගෙන ඔහු අසලට වී සිටියෙමි. ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු බඳින්නට වූයෙමි. ඒ ප්‍රශ්න අතර, ගෙවල් කොහිදැයි අසන්නට විය. නම කුමක්දැයි ඇසුවේය. ඉස්කෝලේ පන්තිය කීයදැයි ඇසුවේය. මගේ පාසල් විෂයන් වලට ලකුණු විමසුවේය. 
"වෙරි ගුඩ් බෝයි.. හොඳට ඉගෙනගෙන හොඳ මහත්තයෙක් වෙන්න ඕනේ.." ඔහු සිනාසෙමින් අවසානයේ කීවේය. එය අවසානයේ මට ලැබුණු ඔහුගේ බිරින්දෑ අතින් සැදු උණුසුම් තේ කෝප්පයකි. 

එය මම මුසල්මානු නිවෙසකට ගොඩ වැදුනු පළමු අවස්ථාව විය. ඒ පිළිබඳව මගේ මතකය මම නිවසට ගොස් අම්මා තාත්තා සමඟ පැය ගණනක් මහත් වූ ප්‍රීතියකින් දෙඩු බව මගේ මතකයේ වෙයි. මගේ බයිසිකලයට දැමු පැච් එකට මම ඔහුට අද වෙනතුරුත් මුදල් ගෙවා නැත. එදා මුදල් ගෙවන්නට මට මුදල් තිබුණේ ද නැත. එහෙත් පසුවදා මම මුදල් ද රැගෙන ඔහු හමුවන විට, ඔහු මගේ හිස ආදරයෙන් අත ගා නිකටින් ද ඇද කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. නැවත නැවතත් මම මුදල් දිගු කරමින් සිටින විට, ඔහු මට සැර වූවේය. 

සිංහල ගම වැඩිහිටියන් මුස්ලිම් ගමට ගියේ උත්සවයකට මස් ටිකක් ගන්නටය. ඔවුන් ඒවා නැවුම් බව කීහ. මුදලින් ද ලාබයක් ඇති බව කීහ. ඒ හින්දාම සෑම ආහාර සහිත උත්සවයකටම මුස්ලිම් ගමින් යහමින් මස් ලැබිණි. ගත වූ දින කිහිපයකට මත්තෙන් මම මගේ තාත්තා සමඟ මුස්ලිම් ගමට ගියේ හදිසි අවශ්‍යතාවයකටය. ඒ මගේ නිවසේ කටයුත්තකට ගඩොල් මිලදී ගන්නට තැනක් සොයා ගන්නටය. 
ඒ ගමන අතරතුරේ මගේ තාත්තා "අර කඩේ ගාවින් නවත්වන්න.." කියා මුස්ලිම් කඩයක් පෙන්වීය. මම එය නවත්වා බලා සිටියේ තාත්තා දෙස පුදුමයෙනි. මක්නිසාදයත් තාත්තා හුදකලාවේ ජීවත්වන පුද්ගලයෙකු මිස, වෙනත් සම්බන්ධකම් පවත්වා ගන්නා පුද්ගලයෙකු නොවන නිසාවෙනි. 

මම පුදුමය දනවන සිතුවිල්ල අස්වසා ගැනීමට තාත්තා පිටුපසින් කඩයට ඇතුල් වූයෙමි. 
"මුදලාලි එළවලු ගණන් කොහොමද?" 
"මේ දවස් වලනම් මචෝ ගණන් අඩුයි.." මුස්ලිම් කඩේ මුදලාලි අමුතු ආමන්ත්‍රනයකින් මගේ තාත්තාව ඇමතීය. 
"මගේ බඩු වගයක් තියෙනවා.. මම එවන්නද?"
"මොනාද තියෙන්නේ?" 

තාත්තා ඔහුගේ එළවලු වගාව පිළිබඳව දැඩි භක්තියකින් කතා කරන්නට විය. ඒ භක්තිය තුළ එළවලු ගැන කීවාට වඩා ගොවියෙකුට ඇති ආත්ම කථනයක් මම දිටිමි. අවසානයේ ඔවුන් දෙදෙනා එළවලු සඳහා කට වචනයෙන් ගිවිස ගත්හ. මුදල් වැනි දේ ණයට ගැනීමේදී යහළුවන් සමඟ පවා ගිවිස ගන්නා අප ගැන මතක් වී, මම කට වචනයෙන් ගිවිස ගෙන පැමිණි මගේ තාත්තා ගැන නැවතත් පුදුම වූයෙමි. 

මේ සියළු සිදුවීම් තුළින් මම ඔබට කියන්නට උත්සාහ කළේ එගොඩ හා මෙගොඩ අතර ඇති විශ්වාසනීයත්වයේ බැඳීමයි. ඔවුනොවුන් අතර ඇති ආදරයයි. 

කොළමුණු ඔය ගැලුවේය. දෙගොඩ තලා ගැලුවේය. ඒ ජල ගැල්මෙන් එගොඩත් මෙගොඩත් යට විය. එගොඩ කොල්ලොත් මේ ගංවතුරේ ජල කෙලියේ යෙදුනාහ. පාලමේ කණ්ඩිය මතට නැගී, එක්කෝ ගසක උස අත්තකට නැගී ඔවුන් ජලය මතට උඩු කරණම් ගැසුහ. පාලම කණ්ඩිය මත සිංහල කොල්ලෝ ද සිටියාහ. මුස්ලිම් කොල්ලෝ ද සිටියාහ. ඇතැම් හු දිය වැල් වලට හසුව ගඟ පහලට ආත්මය රහිත මළ කඳ පමණක් වන ලෙසින් ගසාගෙන ගියහ. ඒ වෙලාවට මැරුණේ සිංහල ද මුස්ලිම් ද කියා දෙයක් තිබුණේ නැත. ස්භාදහම මරා දැමුවේ දෙවර්ගයේම එවුන් ය. ස්භාදහම යට කර දැමුවේ දෙවර්ගයටම අයිති ඉඩකඩය, ඉඩකඩම්ය. 

මුස්ලිම් ගම මිනිසුන් සමඟ අපේ මිනිසුන් උරණ වූ දවස් නොතිබුණා නොවේ. එවැනි දවස් මම ඕනෑ තරම් ඇත. පළමු දවස උදාවෙන්නේ පොල් මුරය ලංවෙන කාලයටය. තාත්තා පොළවේ අඩි හප්පමින් පොල් වතු හිමියන් සමඟ ඒ ගැන දොඩවනවා මම අසාගෙනය. "ඔය තම්බියන්ගෙන් වැඩක් ගන්න බෑනේ දැන්.. මම කී සැරයක් ඕකුන්ට කතා කලාද.. එන්නම් කියලා මඟ අරිනවා.." ඒ මම දන්නා එකම උරණ වීමය. 
තවත් වෙලාවකට කලාතුරකින් හෝ තාත්තා කිපෙන්නේ වැවේ මාළු ටික අල්ලන්නට කවුරුන් හෝ පැමිණියෝතින් ය. උඩුකය නිරුවත්ව පොලු කැබැල්ලකුත් වැව දෙසට දුවන ඔහු දෙස් දෙවොල් තබනවා ය. 
"තම්බියෝ තොපිට වෙන වැවක් නැත්ද.. ඔය වැවේ මාළු ටික තියපල්ලා.. ඒකත් හොද්දට ගන්න හදන්නේ.." තාත්තා කෑ ගානවාය. එහෙත් ඒ තරහාව මම නිතර නොදකිමි. මුස්ලිම් මිනිසුන් හිස පාත් කරගෙන අසරණ ලීලාවෙන් තාත්තා මඟ හැර යනවාය. ඒත් තාත්තාට හොරෙන් ගමේ කොල්ලන්ට වැවට වීසි දැල් විසි කරන බවත්, බිලි පිති ඔබාගෙන ඉන්නා බවත් මම තාත්තාට කියන්නේ නැත. ඒ ගැන දන්නා මුස්ලිම් මිනිසුන් ද ඒ ගැන කියා තාත්තාට එරෙහි වෙන්නේ නැත. මේ තරහව හැරෙන්නට මේ වැඩිහිටි ප්‍රජාව වචනයකින් හෝ රණ්ඩු වූ තැනක් මම මගේ ජීවිතයේ කිසිම දවසක නොදුටු බව සහතික කළ හැක. එහෙත් ඒ සහතිකයෙන් පාඨක ඔබට වැඩක් නැති බවද මම දනිමි. 

ඒ වයඹ පුරවරයේ පඬුපුර මුස්ලිම් ගම් ගිණි තැබූ හනුමාලා ගැන සිතන විටය. මිනිසුන් අවුරුදු ගණනක් තිස්සේ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දෙය කුඩු පට්ටම් කර, ගිණි තබා ඇති හැටිය දකින විටය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිව යුත්තන්ට නම් මට දුකක් ඇත්තෙම නැත. ඒ සහරාන් ඇතුළු කල්ලිය පෝෂණය කළ මිනිසුන්ට නම් මට කිසිදු දුකක් නැත. එහෙත් ඔවුන් මම පාසල් යන කාලයේ රුපියල් දහයට සව් කන්ජි බොන වයසක මුස්ලිම්වරයාගේ පෙට්ටි කඩයටත් ගිණි තබා තිබිණි. 
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාවටනම් කමක් නැත. ඒ ප්‍රහාරයේ මරණ වල වේදනාව පිරිමසා ගන්නටනම් මට දුකක් නැත. එහෙත් එකී ප්‍රහාරය සිදු වී සති තුනක් ඉක්ම ගිය තැනේ දී මෙවැනි ප්‍රහාරයක් දියත් කළේ ඒ වේදනාව නොවන බව මම දනිමි. මේ ත්‍රස්තවාදයයි. මේ සිංහල අන්තවාදයේ මැර ත්‍රස්තවාදයයි. 

මේ රටේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ දේශපාලන මට්ටම් මොනවාදැයි මම ඔබට අමුතුවෙන් නොකියමි. ඔබ ඒ ගැන මටත් වඩා හොඳින් දන්නවා ය. ඔබට තිබුණේ ඔබේ තරහව අන්තවාදය පෝෂණය කළ, අන්තවාදීන්ගේ ඇඟ මහත් කළ ඒ මහා එවුන්ට ගසන්නටය. ඔවුන්ව වටලා ඔබගේ තරහව පිරිමසා ගන්නටය. එහෙත් ඔබ අත උස්සා ඇත්තේ අහිංසක මිනිස්සුන්ටය. ඔබ දැනටමත් නැවත නැවතත් අත ඔසවන්නට යන්නේ ඔවුන්ටය. ඔබ කිසි දිනෙක ඔබව මේ තත්ත්වයට පත් කළ ඔබේ පාලකයාට එරෙහි වී වීදි බැස්සේ නැත. එහෙත් ඔබ බුදුන්ගේ දර්ශනය ළඟ "සියළු දෙනා දණ්ඩනයට බියය" යන උපදේශන වනපොත් කරමින් වීදි බැස ඔබේම පන්තියේ අහිංසකයින්ගේ දේපල කඩා බිඳ දැමුහ. 

ඔබ සිංහල බෞද්ධ නැමැති ජන වර්ගයේ නම්බුවත් නාමයත් ඇසිල්ලකින් විනාශ කළහ. ඔවුන් අප තබාගෙන සිටි විශ්වාසයට, බලාපොරොත්තුවට වෙස් මුහුණු බැඳගෙන ගොස් කඩා බිඳ දමා සුලුවිසුනු කළහ. ඔබ කිරි කලයට අසූචි දමන්නට හිලව් වූ එකෙකි. මතක තබාගන්න, ඔබට කිසි දිනෙක ඔවුන්ගේ ශාපයෙන් ගැලවිය හැකි වුව අපේ ශාපයෙන් ගැලවිය නොහැක. ඔබත් සහරාන් ලා වැනි ත්‍රස්තවාදීන් අතරත් කිසිදු වෙනසක් නැත. 
මුස්ලිම් තරුණයෙකු මේ පිළිබඳව තැබූ ෆේස්බුක් සටහනක් 
ප.ලි :- වයඹ ඇති වූ සිදුවීමේ මානුෂීය සටහන මෙසේ ලියා පල කර තැබුවද, මෙම සිදුවීමේ දේශපාලන වැරදිකරුවන් නොදුරේදීම සාක්ෂි සටහන් සමඟ පල කරන බවත් දන්වමි. මගේ ගම ගිණි තැබූ එවුන් ද, මගේ ගම ගිණි තබන්නට උසි ගැන්වූ එවුන් ද මගේ ගම මිනිසුන් හා ඔවුන් සදාකාලයටම භේද භින්න කළ එවුන් ද  එකෙකුදු අත් නොහරිමි. 

1 comment:

  1. ඒ වචන ටික ඉස්තරම් 🖤

    ReplyDelete