Thursday, October 8, 2020

අඩෝ ! බියර් එකක් ගහලා යමං

 



- ඔයාට මොනාද ඕනේ පුතේ.. 

+ මාව ඔයාලගේ ගෙදර එක්කං යන්න


____________________________________


"ලොකු සර්ර්ර් ! කවිඳු පාර ගාවට ගියා.." 

"ඔය කොල්ලට මම කොච්චර කියනවද පාරට යන්න එපා කියලා.. මම වේවැල අරගෙන එන්න කලින් ඇතුළට එන්න කියනවා.. බලහන් මචං මේ පොඩි එවුන් වගයක් ඉන්නව උන් යක්කු වගේ.." 


පළමු ප්‍රකාශයත් දෙවන ප්‍රකාශයත් මට නොවේය. මෙය චරිත තුනක සංවාදයකි. මම එය නරඹන්නෙක් වූයෙමි. බලහන් මචං කියා ඔහු සිනාසෙමින් කීවේ මට නොවේය. මගේ මිත්‍රයාටය. ඔය කොල්ලට කියා වේවැල ගන්නා බව කියා තරවටුව බහාලු වචන වලින් දමා ගැසුවේ මගේ මිත්‍රයාට නොවේය. අප කතා කරමින් සිටි තැනට පැමිණි දරුවාටය. 


එය ළමා නිවාසයකි. මම එහි නම නොකියමි. එහෙත් මම මේ කියන්නට උත්සාහ කරන්නේ මගේ ජීවිතයේ මම මෑතකදි අත්විඳි සංවේදි සිදුවීමකි. 


මම එහි නොගියෙමි. මගේ මිත්‍රයා ඔහුගේ මිත්‍රයෙකුගේ ඇරයුමට මා ද එහි රැගෙන ගියේය. මම එහි නරඹන්නෙක් වූයෙමි. 


"මචං උඹලා කතා කර කර ඉඳපල්ලා.. මම ටිකක් එළියට යන්නම්.. කෝල් එකක් ගන්න තියෙනව.." මම එසේ කියා මගේ මිතුරාටත්, ඔහුගේ ස්වකීය මිතුරා වූ ළමා නිවාසයේ බාරකාර තැන හෙබවූ තැනැත්තාටත් කියමින් එළියට එන්නට ආවෙමි. 

"මේ මල්ලි, අනේ අර පාර ගාව ඉන්නව කියපු කොල්ලා ගැන ටිකක් බලපන්.. ඕකා පාරට පනියි.." ඔහු මම එළියට පියවර කිහිපයක් තබද්දි මට කීවේය. මම එය පිළිගත් බවට සිනාසෙමින් හිසින් සංඥා කළෙමි. 


ඇත්තටම මට උවමනා වූයේ ද එයමය. ඔහුව දැකීමටය. මට එවැනි උවමනාවක් උපන්නේ මක්නිසාදයත් මම නොදනිමි. එහෙත් මා තුළ කුමක්දෝ ආශාවක් ඒ වෙනුවෙන් ඉපැදී තිබිණි. එය සංතෝෂයට වඩා සංවේගය දනවන ආශාවක් බව මම හැඳිනමින්ද තිබිණි. කෙසේ වෙතත් පෙර කී තැනැත්තාගෙන් ලැබුණු අවසරය, මම බලය සහිත පුද්ගලයෙකු බවට පත් කළේය. 


මම ළමා නිවාසයට එන්නට ඇති දිගු වැලි පාර දිගේ නෙත් යැවූයෙමි. ළමා නිවාසයේ විසල් ගේට්ටුවේ එල්ලී සිටින වයස අවුරුදු හතරක පහක කිව හැකි තරමේ දරුවෙකි. දරුවන්ගේ හැඩරුවින් මට ඔවුන්ගේ වයස තීරණය කරන්නට බැරිය. එහෙත් ආසන්න වශයෙන් එවැනි වයසකවත් ඇතැයි මම සිතමි. 


චර්‍යා රූපිකව ඔහු ගේට්ටුවේ එල්ලී සිටින්නේ එයින් එහාට යන්නට නොවේය. ඔහුට ළමා නිවාසයෙන් අනෙක් පැත්තට පැන ගන්නට උවමනානම් ගේට්ටුවේ එල්ලී සිටින්නේ නැති බව කම්බි කණු හා ඒ මත කටු කම්බි එල්ලා ඇති විදියේ හිඩැස දකින විට මට සිතිණි. එසේනම් ඔහු එහි එල්ලී සිටින්නේ ඇයිද යන කුහුල මම වැලි පාර දිගේ ඔහු අසළට පිය නගද්දී මා සිත පුරා විහිදිණි. 


"කවිඳු.." මම සිනාසෙමින් ඔහුගේ නම ආමන්ත්‍රණය කළේ ඔහුගෙන් ඉඩක් මා වෙනුවෙන් තබා ගන්නටය. 

ගේට්ටුවේ එල්ලි සිටි ඔහු වැලි පොළව මතට පය තබාගත්තේය. මා දෙස බලා කිසිදු ප්‍රතිචාරයකින් තොරව නැවතත් පාර දෙස බැලුවේය. මගේ සිනහව ද එයින් ගිලිහී ගියේ, ඔහු වයසට වඩා තදයෙකු බව දැනීමෙනි. 


"කවිඳු මොකද ඔතැන කරන්නේ?" මම ඇසීමි. 

ඔහු කිසිවක් නොකීවේය. මම නැවත කිසිවක් නොවිසාම ඔහු බලා සිටින දිශාව දෙස නෙත් විහිදන්නට වූයෙමි. එය කාපට් කළ පාරකි. වාහන පමණක් ඔබ මොබ යයි. විවිධ වර්ගයේ මිනිසුන් දිවෙන මාර්ගයකි. එවැනි මඟක් දෙස බලා සිටීම තේරුම් රහිතය. එහෙත් ඔහුට එය තේරුම් සහිත වැඩකි. මට ඔහුව තේරුම් ගැනීමට උවමනාවක් තිබුණද මම ඊට මෙහෙය වූයේ නැත්තේ මා සතුව එවලේහි තිබූ කුසීතකමටය. 


මම මාර්ගය දෙස මිනිත්තු කිහිපයක් ඔහුත් සමඟම බලා සිටියෙමි. නැවත ඔහු දෙස බැලුවෙමි. එවලේහි මා දුටුවේ ඔහු මා දෙස බලා සිටින බවය. 

"ඇයී.. ඔයා දුකින් ද?" මම මෘදුව ඇසුවෙමි. ඔහු ලැජ්ජාවෙන් නැතැයි කියන්නට හිස දෙපසට වැනුවේය. 

"එහෙනං ඔයා ටිකක් වෙලා ඉඳලා එන්න.. ඔයා ඉතිං මාත් එක්ක කතා කරන්නේත් නෑනේ. මම යනව කෝල් එකක් තියෙනව ගන්න.." මම ඔහුට එසේ කියා ඔහුගෙන් ඉවතට ඇදුණේ ඔහු දෙසවත් නොබලාය. මම එයින් බලාපොරොත්තු වූ දෙයක් තිබිණි. 


කාලයක් තිස්සේ මහා පොළව වැස්සට සේදි යාම නිසාදෝ පොළවෙන් ඉස්මතුව තිබූ කළු ගලක් දැක මා ඒ මත වාඩි වූයෙමි. ඇමතුමක් ගන්නට කෙනෙකුන් එවලේ මට නොසිටියේය. මම අම්මාට ඇමතුමක් ගත්තේ උවමනාවකින් තොරවය. එවලේහි කවිඳු මා දෙසට ඇදී එන්නට විය. මම වචන කිහිපයක් දොඩවා ඇමතුම විසන්ධි කොට ඔහු දෙස බැලුවෙමි. 


"ඉඳගන්න මෙතැනින්.." මම ඔහුට වාඩි වී සිටි ගල් කුළින් කොටසක ඉඩක් දුනිමි. ඔහු වාඩි වූයේ නැත. 

"ඔයා මාර ලැජ්ජයිනේ.. ඉස්කෝලේ යනවද?" මම සිනාසෙමින් ඇසුවෙමි. ඔහු නැතැයි කියන්නට හිස දෙපසට වැනුවේය. 

"ඔයා කාලද ඉන්නේ?" මම නැවත ඇසුවෙමි. ඔහු කෑ බව කියන්න හිස ඉහළ පහළ යැව්වේය. 

"ඔයා ගොළුද?" මම කොක් හඬලා සිනාසෙමින් ඇසුවෙමි. 

ඔහු දෙයත දෙපසට විහිදුවා ඈලි මෑලි ගතියකින් හිරි අරින්නා සේ හඬක් නොමැති නැතැයි කියා කීවේ මුව ද විවෘත කරවමිනි. 

"ඉඳගන්න මෙතැනින්" මම නැවත කීවෙමි. 

ඔහු එවලේ මා අසළටම කිට්ටු වූයේ මගේ අතෙහි වූ දුරකතනයට බැල්ම හෙලමිණි. දුරකතන තිරයේ නිවි නිවී දැල්වෙන බල්බයට ඔහු ඇඟිල්ල තැබුවේය. Face Recognise වීමට තිරය දැල්විණි. ඔහු තිරයට එබුණේය. 


"මේ කවුද?" ඔහු ස්ක්‍රීනයේ ඇති ඇගේත් මගේත් රූප රාමුව දැක ඇසුවේය. 

"ඔයා ඉතිං කිව්වට දන්නේ නෑනේ කවුද කියලා.." මම සිනාසෙමින් කීවෙමි. 

"කෙල්ල නේද..?" ඔහු මා නැවතත් සිනාවකට පෙරලමින් ඇසුවේය. 

"නෑ.. මම කවදාහරි බඳින්නේ මෙයාව.." මම ඔහුට කීවෙමි. ඔහු ඒ අවසරයෙන් මගේ දුරකතනය අතට ගත්තේය. 

"ඉන්න ලොක් එක ඇරලා දෙන්නම්.. ඔයාට බෑ.. ආ දැන් හරි.. ඔයා ෆෝන් එකක් කලින් පාවිච්චි කරලා තියෙනවද?" මම ඔහුගෙන් ඇසූමුත් ඔහු කිසිවක් නොකියා දැඩි කැමැත්තකින් ජංගමයේ ටච් පෑඩය මත ඉබාගාතේ ඇඟිලි ගෙන ගියේය. ඔහුට උවමනා ලෙසින් ඇඟිලි තුඩු එහේ මෙහේ යවා හිතේ හැටියට එය ඔබන්නට ඉඩ දී මම බලා සිටියෙමි. 


"මේක මොකක්ද? මේක..? එතැකොට මේක..?" ඔහු අසයි. මම ඔහුට උත්තර බඳිමි. ඔහුට තිබුණේ ප්‍රශ්න විතරක්මය. එහෙයින් මම ඔහුගෙන් එකදු ප්‍රශ්නයක්වත් නොඅසා ඔහුට උත්තර පමණක් බඳින්නට වූයෙමි. 

කාලය මිනිත්තු තිහකටත් වඩා නික්මී ගියේ එහෙමය. එහෙත් ඔහුට ජංගමය එබීම එපා වූයේ නැත. මට ඔහුව කුමක්දෝ හේතුවකට අපෝ වූයේ ද නැත. මේ අතරමැද ජංගමය නාද වූයේ ඇමතුමක් නිසාවෙනි. ඔහු ඒ දෙස බලාගෙන සිටියේය. ඒ වික්ෂිප්තවය. 


"කෝල් එකක් නේද, දෙන්න බලන්න.. කවුද කියලා.." ඇමතුම නොහදුනමි. එහෙයින් ඊට සවන් දුනිමි. මිතුරෙකි. හේතුව කෙටිය. අංකය මාරු කළ බව කියන්නටය. බොහෝ කලකින් සෙට් වෙන්නට බැරි වූ බව කියන්නටය. අවසාන වතාවට පැවත්වූ අරක්කු පාටියේ රසමුසු තැන්ය. ඇමතුම විසන්ධි කළෙමි. නැවතත් ඔහු දුරකථනය උදුරා ගන්නට අත දික් කළ විට, මම ස්ක්‍රීනය ලොක් කරමින් ඔහුට එය ලබා දුනිමි. එහෙත් ඔහු එය ලොක් කර ඇති බව නොදනී. කලින් ලෙසින් ඔබන්නට බැරි බව පමණක් දනී. එයින් ඔහු අඩපණ විය. 


"කවුද ඔයාගේ කෙල්ලද?" 

"ඔව් ඔව් කෙල්ල තමයි.." මම සිනාසෙමින් කීවෙමි. 

"ලොකු සර්ටත් කෙල්ලෝ ගොඩාක් කතා කරනවා.." ඔහු කීවේ දෙතොල් උරුක් කරමින් සුරතලෙනි. 

"කවුද මේ ඔයාලගේ ලොකු සර්ට.. මටනම් ඉතිං එක කෙල්ලයි ඉන්නේ.." මම එසේ කියමින් දිගු හුස්මක් ඇද ගතිමි. එය ඔහු බලාගෙන සිටියා වගේය. 


"ඔයාලා කසාද බඳින්නේ කවද්ද.. ලොකු සර්ටනම් බබාලත් ඉන්නව.." 

"අපිත් ඉක්මනටම බඳින්න ඕනේ.. ලොකු සර්ට බබාලත් ඉන්නවද.. සෝක්නේ.. ඒ බබාලා ඔයාලා එක්ක ඔයා සෙල්ලම් කරනවද..?" 


"නෑ.. අපිත් එක්ක සෙල්ලම් කරන්න එවන්නේ නෑ. ලොකු සර් සැරයිනේ.." 

"එහෙමද.. ඉතිං ඔයාටත් සෙල්ලම් කරන්න මෙහේ යාළුවෝ ගොඩක් ඉන්නවනේ.. ලොකු සර්ගේ බබාලා මොකටද.." 


".. ඔයා බබාලා හදපුවාම, මාවත් එක්කං යන්න එනවද?" ඔහු ඇසූ අවසාන ප්‍රශ්නය ඒකය. මම උත්තර නොදී අමාරුවෙන් හිස අතගා සිනාසුණා පමණි. එම ප්‍රශ්නයට පිළිවෙලක් තිබුණේ නැත. "කසාද බැඳපුවාම" කීවේ ඇයිද, "බබාලා හම්බ වූවාම එක්කං යන්න කීවේ ඇයිද" ඒ අතර මැද "එක්කං යන්න" කීවේ ඇයිද යන්න තුළ එකිනෙකට සමපාත වූ උවමනාවන් මම දිටිමි. ඒ උවමනාවෙන්ම ඔහු ගේට්ටු පියනක මහා පාර දෙස බලා සිටින බව මම දැන ගතිමි. 


මම කවිඳු හැරදා එදා එන්නට ආවෙමි. ඒ අතමඟදි මගේ මිතුරා මෙසේ කීවේය. 

"පව් නේද බං?" 

"ඇයි?" මම ඇසුවෙමි. 


"නෑ බං.. බලපන් අම්මා තාත්තා නැති දරුවෝ කී දාහක් මේ රටේ ඉන්නවද?" 

"හ්ම්ම්.. උඹට මතකද අපි පොඩි කාලේ දකින හීන.. ස්පයිඩර් මෑන්ට වගේ සුපර් පවර්ස් ලැබෙන්න ඔනේ. පිටසක්වල ජීවියෙක් දකින්න ඕනේ.. ගේම් බෝයි එකක් ඕනේ.. ඒත් මේ ළමයිට ඕනේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇවිදින් එයාලව එක්කං යනකන්.." 


"ඇයි උඹ එහෙම කීවේ.. උන්ට හොඳට සළකනව.. බලපන්, උන්ට හැමදේම තියෙනව. එක අතකින් උඹට මට පොඩි කාලේ මොනවද තිබුණේ.. ඒ අතින් ගත්තාම උන් අපිට වඩා වාසනාවන්තයි හැබැයි.." 


මට කවිඳුගේ මුහුණ මතක් විය. ඔහුගේ සිනහව, ඔහුගේ දෑස් වල දිලිසුම සිහියට නැගිණි. "වාසනාවන්තයි.. හික්ස්.." මම මුවින් නොදොඩා සිතින් මුමුණා අත්හලෙමි. 

"අඩෝ බියර් එකක් ගහලා යන්"

0 comments:

Post a Comment