Wednesday, June 20, 2018

ඥාණසර හිමියන්ගේ රසිකයින්ට "රිදී" ඇත. එහෙත් වඩා වටින්නේ "රිදී" නොව රත්තරං ය.


මේ සටහනේ හරයට පටහැනිව මූලික දෙයක් ලෙස මා සටහන් කළ යුතුව පවතින දෙයක් ඇත.
වැරදි කරන්නේ මිනිසුන් ය. වැරදි නොකරන මිනිසුන් මේ ලෝකයේ නැත. ඇතැමුන් උපදින්නේම වැරද්දකිනි. මම ද "හරියට" වැරදි කළ එකෙකි. මිනිසෙකු වැරැද්දක් කළා කියා ඔහුව ප්‍රතික්ෂේප කරන ජන සමාජයකින් වැඩක් නැත. එහෙව් සමාජයක පැවැත්ම ශිෂ්ට සම්පන්න බවට පහරකි. 


එහෙයින් වැරදි කළ එකෙකු දඬුවම් ලැබීමට සිපිරිගෙට යාම "ෂා මරු ! අරූ හිරේ ගියා.. ඕකාට හොඳ වැඩේ.. ඕකා පස්සෙන් හිටපු එවුන්ටත් හොඳ වැඩේ" කියා සතුටු වෙන්නට කාරණයක් ද නොවේ ය.


මම එහෙම කියන්නේ මේ කියන්නට යන කාරණයට අනුව ගත් කළ මා බෞද්ධයෙකු නිසාවත්, මම දහම් පාසල් ගිය නිසාවත්, සමහර ඉරිදාවල් වලට ඉඳ හිට දහම් පාසලේ උගන්වන්නට ගිය නිසාවත්, පෝයට පන්සලට ගිහිං මල් පූජා කරන නිසාවත් හෝ මා භික්ෂුන් සමඟ එකතු වී සිදු කරන ඇතැම් සමාජ ක්‍රියාකාරකම් නිසාවත් නොවේ ය.

මම එහෙම කියන්නට ප්‍රධානතම හේතුව වන්නේ මිනිසෙකු වැරදි කිරීමට හෝ මිනිසෙකු තුළින් වරදකාරී යම් දෙයක් පිටවෙන්නේ මේ සමාජය තුළ පවතින යම් අඩුවක් - පාඩුවක් නිසා ය. ජාති වාදීන් වේවා - අන්තවාදීන් වේවා - ත්‍රස්තවාදීන් වේවා ඒ සියල්ලෝම එක තැනකට ලඝු කොට පෙන්වන වැරදිකරුවා යන පුද්ගලයාව හදන්නේ මේ සමාජය බැව් මම තරයේ විශ්වාස කරමි. එහෙයින් මම අනෙක් අන්තයට වී හිඳ "අනේ හොඳයි, හූ... ඔහොම වෙලා මදි ඕකාට" කියන්නට තරම් පහත් මනුක්ෂයෙකු නොවෙමි.

------------------------

ඥාණසාර යන්න භික්ෂුවක් ද ? මූලික ප්‍රශ්න ඒකය. මට අනුව බුද්ධ චීවරය දරන සියල්ලෝම භික්ෂුන් නොවේ ය. ඒ මගේ මතය වනවා මිසක එය ඔබේ මතය විය යුතු ද නැත. මගේ මතය එසේ වන්නට පැහැදිලි හේතු මට ඇතුවාට ඒවා මේවායේ සටහන් කිරීම අනවශ්‍යය. 

එහෙත් ඥාණසාර භික්ෂුවක් නොවන්නේ මන්දැයි යන්න මා කිව යුතුය. ඥාණසාර නැමැති පුද්ගලයා මත භික්ෂුවක් සතු විය යුතු ගුණාත්මකබාවයක් මා කිසිදා නොදුටුවෙමි. මා ඔහුව දන්නේ 2014 වර්ෂයේ උසස්පෙළ සිසුවෙකු ලෙස සිටිද්දීය. මා දැක ඇති භික්ෂුන් හා සැසඳීමේදී ඔහු භික්ෂුවක් ලෙස සමාජය ඉදිරියේ නිරූපණය කරන වේෂයක් දුටුවා මිසක කිසිදු දිනක භික්ෂුවක් සතුව පැවතිය යුතු ගති ස්භාවයන් දැක තිබුනේ නැත.

එහෙත් උන්වහන්සේ භික්ෂුවක් නොවන වගට හෝ භික්ෂු භාවය විභේදනය වූ බවට කිසිදු භික්ෂු මණ්ඩලයක් විසින් හෝ පිළිගත හැකි බෞද්ධ ආගමික පාර්ශවයක් මඟින් සනාථ කිරීමක් සිදු කර නැත.

සාසනය නඩත්තු වෙන්නේ සාමාන්‍යය බෞද්ධ සිවිල් ජනතාව අතිනි. එහෙයින් මට උන් වහන්සේව භික්ෂුවක් ලෙස පිලි නොගෙන සිටීමට අයිතියක් ඇත. ඒ මගේ ආගමික අයිතිය යි.

මම බෞද්ධ ආගමිකයෙක් වූවාට මේ රටේ ජීවත්වෙන සියළුම පුරවැසියන් බෞද්ධයින් නොවේ ය. සිංහල බෞද්ධ හෝ සිංහල නොවන බෞද්ධ යන කොටස් දෙකට අමතරව මේ රටේ සිංහල බැඳි සහ සිංහල බැඳී නොවන ජාතින් වර්ග සිටියි. අප සියල්ලෝම ශ්‍රී ලාංකිකයින් ය.

එමෙන්ම වැරැද්දක් සිදු වූ තැනේදී එය විනිශ්චය කර ගන්නට අද මට මගේ බුදුන් නැත. මට ඇත්තේ මගේ බුදුන්ගේ දර්ශනය පමණය. එය ද මුඛ පරම්පරාවෙන් පැමිණ පසුව එය පුස් කොළ පොත් වල පුස් කන්නට යෙදුනු එකක් යැයි මටම හැඟෙනවා ය. 

ඉඳින් මට ගැටළුවක් ඇති වූ තැනේදී, මම මුලින්ම යා යුත්තේ බුදු පිළිමය ඉදිරියට ද නැතිනම් පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ළඟට ද යන්න ගැටළුවක් ඇත. 


ඒ දෙකෙන්ම මට සරණක් නැතිනම් මට තුන්වෙනි පාර්ශ්වයේ හයියක් - ශක්තියක් තිබිය යුතුය. එහෙම දෙයකට මට තිබෙන්නේ නීතිය පමණි. මම විශ්වාස කරන්නේ මගේ ඉදිරියේ පෙනී සිටින තර්කානුකූල මා වෙනුවෙන් ඇති දෙය මිසක, යල් පැන ගිය නාමිකව පවතින කිසිදු හව් හරනක් නැති බෙදුම්වාදී පිළිවෙතක් නොවේ ය.


එයට ලැදිව ජීවත්වන්නේ මා පමණක් නොවේ ය. මගේ දරුවා කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් දූෂණය කළේ නම් හෝ කරන්නේ නම් මම යා යුත්තේ පන්සලේ බුදුන් වහන්සේ පිළිරුව ලඟට නොවේ ය. මා යා යුත්තේ පොලීසියට ය. 
 
මගේ පෙම්වතියට කිසිවෙකු මරණ තර්ජනය කරන්නේ නම් මා පන්සලේ ලොකු හාමුදුරුවන් හමු වී වැඩක් නැත. මා පොලීසියට ගොස් පසුව නීතිඥයෙකු ලාවා හෝ තනිව උසාවියේ පිහිට පැතිය යුතුය.

මගේ අවසාන සහ එකම විශ්වාසය උසාවිය පමණි. එයින් එහා දෙයක් මට පමණක් නොව ඔබට ද නැතිය.

---------------

චීවරය යන්න නිල ඇඳුමක් දැයි කියා මටම සිතුනු වාර අනන්තය. එහෙම සිතෙන්නට හේතු මට අනන්තවත් ඇත. මා කීවෝතින් ඔබ පවා විශ්වාස නොකරන සිද්ධීන් මා චීවරය ආශ්‍රයෙන් දැක තිබෙමි.
සෑම අමනුක්ෂයෙකුම අවිහිංසාවාදී දර්ශනයක චීවර රෙද්දක් පලිහක් සේ තබාගෙන සමාජයේ වැරදි කරන තමන් විසින්ම නිදොස් වන අවස්ථා මා හිසේ කෙස් ගණනට දැක ඇත්තෙමි. එදා ගැලීලියෝට පල්ලියෙන් සැලකුවාක් මෙන් ගරහන ක්‍රමයක් අද මම පන්සල තුළ දකිමි. 


ආගම හොඳ ය. එහෙත් ආගම වුව වැරදි අත් වලින් බෙදෙන විට එය කිලිටි ය. ඒ කිළුටු තැන් වල අපුල අප විඳිමින් සිටින්නෙමු.


ඥාණසාර නැමැති පුද්ගලයා මරණ තර්ජනය කරන්නේ සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියටයි. එක්නැළිගොඩ නැමැති නාමය වටා බැඳුණු චෝදනා රැසක් ඇත. එහෙත් එකී චෝදනාවන් හා මත පදනම් ව කිසිවෙකුට මරණ තර්ජනය කළ නොහැක.

ඕනෑම අයෙකුට ඕනෑම කෙනෙකුට චෝදනා කළ හැකිය. එහෙත් චෝදනා වලට බිය වීම මෝඩකමක් ලෙස මම දකිමි. බිය විය යුත්තේ චෝදනා ඔප්පු වන්නේ නම් හෝ ඔප්පු වන්නට සාක්ෂ්‍යය තිබේ නම් පමණි. එසේ නම් එක්නැළිගොඩ වේවා කුමන පුද්ගලයෙකු වේවා චෝදනා තිබේ නම් ඒවා ඔප්පු කර දඬුවම් ලබා දෙනවා මිසක තර්ජනය කිරීම - අඩම්තේට්ටම් කිරීමට යාම නීති උල්ලංඝනය කිරීමකි.

නීතින් සැදී ඇත්තේ සමාජය ශිෂ්ට සම්පන්න පැතිකඩක් තුළ නගා සිටුවීමේ අරමුණින් ය. එකී නීතියෙන් පරිබාහිරව ආගමකට හෝ නිකායකට නීතින් අභිබවා යා නොහැක. එසේ යන්නේ නම් එයින් පිළිබිඹු වන්නේ රටේ නීති ක්‍රමය තුළ පවතින කශේරුකාවේ පණ නැතිකම මිසක අනෙකක් නොවේ ය.

සිවුරක් පැළඳි ඕනෑම ගොන් බූරුවෙකුට මිනිසුන් මැදට වී හිඳ ඔවුන්ට කැමැති කැමැති ආතල් ගැනීමට හැකිනම් මෙය යහපත් සමාජ ක්‍රමයක් නොවේ ය. එවැනි ආතල් ගන්නා එවුන් සිටින සමාජයකින් ඔබට ද මට ද වැඩක් නැතුවා මෙන්ම ඔබෙත් මගෙත් අනාගත දරුවන් පවා එවැනි සමාජ ක්‍රමයකට එරෙහි නොවුණේ මන්දැයි කියමින් ශාප කරනවා නියතය.

සිපිරිගෙට නියම වූයේ ඥාණසාර භික්ෂුව නොවේ. ඔහු තුළ සිටි අපරාධකරුවා බව අප තේරුම් ගත යුතුය. මිනිසෙකුට නැවත සැකසිය හැකිය. විකෘතිතා බිඳ දමා නැවතත් ශිෂ්ට සමාජයේ වැදගත් සමාජ පුරවැසියෙකු ලෙස ජීවත්වීමේ හැකියාව ඔහුට ඇත. ඥාණසාර බරපතළ වැඩ සහිතව සිපිරිගෙට යාම ලැජ්ජා විය යුතු දෙයක් ද නොවේ ය. එය සමාජයෙන් ඈත් කර වැරදි කරුවා නිවැරදිකරුවෙකු බවට පත්වෙන්නට සිදු කළ පුනරුත්ථාපනයකි.

---------------

ඥාණසාර සිපිරිගෙට යන කළ වැඩියෙන්ම හූ තියන්නේ ජාතිකවාදී නොවන කොටස බව බැලු බැල්මට පෙනේ. සර්වාගමිකයින් විසින් ජාතිකවාදී කොටසට කෝ චොක් කරමින් සිටියි. එය මා දකින්නේ පාදඩ පුරුද්දක් ලෙසිනි. බෙදෙන එකාට බෙදෙන්නට ඉඩමේ පැල ඉනි වැටත් ඇතිය. 

ජාතිකවාදියා මෙන්ම ජාතිකවාදී නොවන තැනැත්තා ද බෙදුම්වාදයේ ලක්ෂණ ඇති එවුන් ලෙස මම දකිමි.

ඥාණසාර සිපිරිගෙට යාම ජාතිවාදී ගැටළුවක් නොවේ ය. එය මේ රටේ සාමාන්‍යය වැසියෙකුට මහා දවාලේ උසාවියක් ඉදිරියේ සිදු කළ තර්ජනයක් හේතුවෙන් සිදු වූ දෙයකි.

සාමාන්‍යය මනුක්ෂයෙකුට සරණක් ඇති එකම තැන, බලවතෙකු විසින් මරණීය තර්ජන සිදු කරන්නේ නම් හෝ ඊට දඬුවමක් නොදෙන්නේ නම් ඒ නීතියෙන් ඇති ඵලය කුමක්ද? සිද්ධ වූයේ සිදු විය යුතුම දේ ය. එයට හිස නමා ආචාර කළ යුතුමය. උසාවිය ගැන පැහැදීමක් ලැබුණු එකම සිදුවීම එය පමණක් නොවී ඉදිරියටත් සියලුම දඩ බල්ලන් අල්ලා කණු කළ යුතුය.

නීතිය යන්න එකම විශ්වාසයයි. උසාවිය යන්න එකී විශ්වාසය ලැගුම් ගත් තැනයි.
ආගම යන්න ආධ්‍යාත්මයට ගුණ සුවඳ කවන තැනයි. නිවැරදි මනුක්ෂයෙකු නිර්මාණය කරන තැනයි. එහෙත් ආගමක් තුළින් පිස්සු බල්ලන් හදන්නේ නම් ඒ ආගම විනාශ වෙමින් පවතින කාලයයි.

සියල්ල අනිත්‍යය යැයි දේශනා කළ බුදුන් වහන්සේගේ දර්ශනය ලෝක ධාතුව තුළ පැවතීම නිත්‍යය නොවන බව කණගාටුවෙන් වුවද තේරුම් ගෙන කටයුතු කරමු.

0 comments:

Post a Comment