Wednesday, July 11, 2018

"දැන් නම් බය කියන්නේ මොකක්ද අපි දන්නේ නැහැ"


වීරයෙකුගේ ද පෙකණි වැල සිඳ දමන්නේ තවත් අම්මා කෙනෙකුගෙන් වුවද වීරයන් තැනිය හැක්කේ එකම තැනකට ය. ඒ තැන මොකක්දෝ වාසනාවකට මේ පුංචි රටේ දැන් දැන් හැදීගෙන එනවා ය. ඒ තැන සෑම වීරයෙකුටම හිමි නොවුවද විශිෂ්ටයාගේත් විශිෂ්ටයාට හිමිවෙනවා ය. ඒ තැන පාසලය. ටක්කෙටම කීවෝතින් කොළඹ ආනන්ද විද්‍යාලයය.  මේ තැන ගැන නොවේ ය. ඒ තැනින් බිහි වූ වීරයන් ගැන ය. වීරත්වය නම් එවරස්ට් තරණය කිරීමය. ලුතිනන් කර්නල් ජගත් අල්විස් මහතා මෙම ත්‍රාසජනක අත්දැකීමට මඟපෙන්වන්නා ලෙසින් කටයුතු කළ අතර සජන විජේතුංග සිසුවාගේ නායකත්වය යටතේ පවන් පින්සර, පෙහාන් දුල්සර හා යශින්ද්‍ර නාවලගේ එවරස්ට් තරණයට සාමාජිකත්වය දැරුහ.


“නොපසුබට වීර්යය, කණ්ඩායම් හැඟීම, දුෂ්කරතා වලට මුහුණ දීම යනාදී අභියෝග වගේම ශාරීරික ආබාධ වලට ලක්වීම එමටයි. එහෙත් මොවුන් ඒවාට මුහුණ දෙමින් අධිෂ්ඨානශීලි බව හා අභියෝග වලට මුහුණ දීම මැනවින් ඔප්පු කළා” යැයි ලුතිනන් කර්නල් ජගත් අල්විස් මහතා තම කණ්ඩායමේ දරුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව ඉරිදා ඇපල් අප සමඟ අදහස් දක්වමින් කියා සිටියහ.
එවරස්ට් තරණය කළා කියා වීරයෙකු වන්නේ කෙසේ දැයි කාට හෝ ප්‍රශ්නයක් තිබිය හැක. එවරස්ට් යනු ලෝකයේ උසම කන්දයි. එය පිදුරුතලාගල තරණය කරන්නට යනවා වගේ නොවේ ය. ලෝකය පුරා සංචාරකයින් එවරස්ට් තරණය කරන්නට වලි කෑව ද සෑම සංචාරයෙකුටම හිමි නොවන ජීවිතයේ ඉහළම වරප්‍රසාදය එවරස්ට් තරණය කිරීම වේ. මරණය සියතින් ලියවාගෙන යන මේ ගමන පුරාවටම ඇත්තේ ත්‍රාසය හා භීතියයි.

බිය යන්න හිතළුවකි. බිය නැමැති සිතුවිල්ල උපදින තුරු මිනිසුන් කෙහෙල් කොළයේ හෙවනැල්ලටත් බය වෙනවා කියා පැරැන්නන් තුළ කියමනක් ඇත. බිය මරා දැමු තැන කළ නොහැකි කිසිවක් නොමැත. කොළඹ ආනන්ද විද්‍යාලය ද යකාටවත් බය නැති කොල්ලන් හතර දෙනෙකු ලක් මවට බිහි කර ඇත. මේ වියමන ඒ බිහි කිරීම ගැනයි.

 “සහෝදරයා හිමාලය තරණය කිරීම කොහොමදැයි” මා අසන විට ඔහු සිනාසෙමින් මෙසේ කීවේය.
“අයියේ හිමාලය නෙමෙයි, අපි එවරස්ට් තරණය කළා..මාර සතුටුයි..” ඔහුගේ දෑස් දිලිසෙනවා ය. මගේ දෑස් පුදුමයෙන් විශාල වන්නට ඇත. සැබෑවටම එය පුදුමයකි. පාසල් වයසේ හිච්චි කොල්ලෙක් එවරස්ට් තරණය කිරීමම පුදුමයක් නොවන්නේ නම්, මේ ලෝකයේ වෙනත් පුදුමයන් නොමැති බව මෙය ලියන මා විශ්වාස කරමි.

“ඉතිං කොහොමද ගමන සිද්ධ වුණේ.. ඇයි එවරස්ට් තරණය කරන්න ඕනේ කියලා හිතුණේ” මා හට ගමන් විස්තරය ඇසීමට ඇති වූ දැඩි ආශාවක් ඇති විය.
“ අපි පස් දෙනෙක් එවරස්ට් තරණය කළා..  ලෝකයේ නගින්න තියෙන උසම කන්ද.. එතැනින් එහාට කන්දක් නැහැ නගින්න..එවරස්ට් ෆස්ට් බේස් කෑම්ප් එකටම අපි නැග්ගා.. සති තුනක් වගේ කාලයක් අපි ගන්නවා මේ ගමන යන්න.. ආනන්දේ හැම අවුරුද්දෙම නගිනවා.. මේ එකොළොස්වෙනි පාර තමයි ආනන්දේ අපි එවරස්ට් තරණය කලේ.. ඒත් අපි විතරයි ලංකාවෙන්ම මේ වෙනකං එවරස්ට් බේස් කෑම්ප් එකට යනකන් යන්නේ..”
“අපි හැමෝම දන්නවා එවරස්ට් තරණය කරනවා කියලා කටවචනයෙන් කිව්වට ලෙහෙසි නැහැ. ඒක විශාල අභියෝගයක්.. ඒ අත්දැකීම ඇතුළේ සෑහෙන දේවල් හැංගිලා තියෙනවා.. අපි එකින් එක එළියට දාමු නේද?”
“ගිහිල්ලා එනකං ෂුවර් නැති ගමනක්.. සෑහෙන අභියෝග තියෙනවා. සෑහෙන අභියෝග වලට මුහුණ දෙනවා. පළවෙනිම පියවර තමයි ලුක්ලා කියන ලෝකේ භයානකම එයාපෝට් එකට තමයි අපි බහින්නේ.. යන්න තියෙන්නේ කඳු දෙකක් මැද්දෙන්.. එයාපෝට් එක පටන් ගන්නේ ප්‍රපාතයකින්.. හරියට ලෑන්ඩ් කරලා ෆ්ලයිට් එක ට්‍රැක් එකට දාගන්න බැරි උනොත් කෙළින්ම ෆ්ලයිට් එක වදින්නේ කන්දේ පාමුල..”

ඔවුන්ගේ ගමන ඇරඹෙන්නේම අභියෝග වලිනි. ඒ අභියෝග තුළ ජනනනය වෙන්නේම ත්‍රාසයත් භීතියත් ය. ඒ සියල්ලම විඳ දරාගෙන මරණීය අත්දැකීම පවා ළඟා විය හැකි සුළු එවරස්ට් තරණය කිරීමට ඔවුන් හැඩ ගැසිය යුතුය. ඒ සඳහා මනස හැඩ ගසා ගැනීමම ලෙහෙසි නැත. සිරුර ලොමුඩැහැ ගැන්වෙන ඔහුගේ අත්දැකීම් විස්තරය මත මා තුළ විශාලනය වන පුදුමය අතුරමින් තව තවත් ඔහුගේ හඬට සවන් දුනිමි.

“ අපි පළවෙනි දවසේ කිලෝමීටර් අටක් නගිනවා. ඒ කිලෝමීටර් අට අපි නගින්නේ නිකං නෙමෙයි කිලෝ දා හත හමාරේ බෑග් එහෙකුත් දාගෙන.. ඒ බෑග් එක ඇතුළේ තියෙන්නේ අපිට ගමනට අත්‍යයවශ්‍යය කරන දේවල්.. ගමන පුරාවටම මහා බරකුත් එක්ක අපි එවරස්ට් තරණය කරනවා. යන්න කියලත් තියෙන්නේ හොඳ ට්‍රැක් එකක් නෙමෙයි.. සමහර තැන් වල පාර වැහිලා ගල් වලින්.. එක පැත්තකින් තියෙන්නේ මහා ප්‍රපාතයක්.. ඒ ට්‍රැක් එකේ දෙන්නෙකුට මාරු වෙන්න බැහැ.. එක පැත්තකින් කන්ද.. අනිත් පැත්තෙන් තියෙන්නේ මහා හෙලක්.. උඩට යන්න යන්න සීතල වැඩියි.. අපිට දරාගන්න බැරි පාරිසරික වෙනස්කම් තියෙනවා...”

“.. මේ වගේ ගමනක් යන්න ඔයාලට මඟ පෙන්වන්නේ කවුද..?” මෙවැනි ත්‍රාසජනක අත්දැකීම් සම්භාරයක් ඇති කරන ගමනක් ලෙහෙසියෙන් යා නොහැක. එයට නිවැරදි මඟ පෙන්වන්නෙක් සිටිය යුතුය.  මෙම විශිෂ්ටයින්ගේ පිටුපසින් සිටිනා ස්විශේෂී මිනිසා වන ඔහු පිළිබඳව මා මෙම ගමන් නායකයාගෙන් අසන්නට සිත්විණි.

“.. ලුතිනන් කර්නල් මේජර් ජගත් අල්විස් සර් තමයි අපිට මඟ පෙන්වන්නේ.. සර් එකොළොස් වතාවක් මේ ගමන ගිහිං තියෙනවා. සර්ට ඇත්තටම මේ ගැන විශාල දැනුමක් තියෙනවා. ලංකාවටම මේ ගැන දැනුමක්, අත්දැකීමක් තියෙන කෙනෙක්ට ඉන්නේ සර් තමයි..”

ජීවිතය කියන්නේම අභියෝගයකි. එය වූ කලී මල් මාවතක් දිග යන්නට ඇති ගමනක් නොවේ ය. කටු මතින්, වල ගොඩැලි මතින් මෙන්ම තිරුවානා සහිත ජීවිත බිමේ ද ගමන් කිරීමම අභියෝගයකි. එවැනි අභියෝගාත්මක ගමන් මඟක් පියමනින අපට එවරස්ට් තරණය යන්න ජීවිතාභියෝගයකට වඩා වැඩි දෙයක්  බව හැඟෙනවා ය. එකී අත්දැකීම මේ සා අඩු වයසකින් ඔවුන්ට ලැබීමට ඇති හැකියාව ඉතාමත් වටිනා මිළ කළ නොහැකි අමිල අත්දැකීමක් වනවා නොවනුමානය.

“මොනවද හිතෙන්නේ..?”
“ ඇත්තටම ගමන යනකොට නම් හිතුනේ නැහැ ආයේ එන්න ලැබේවි කියලා. සමහර තැන් වලදී සෑහෙන්න බය වුණා. ඒ හැම තැනකදීම අබේසිංහ සර් අපිත් එක්ක හිටියා.. සමහර වෙලාවට ඇස් වලට කඳුළු නාවාම නෙමෙයි.. ඒ වෙලාවට කණ්ඩායමක් විදියට අපි හැමෝම එකට අඬනවා, එකට හිනා වෙනවා.. හැමෝම එකමුතුව හැම අභියෝගයකටම මුහුණ දුන්නා. අවසානෙට එවරස්ට් තරණය කරලා එනකොට අපිටම පුදුම හිතුණා අපි එවරස්ට් තරණය කළා නේද කියලා. පුදුම සතුටක් දැනුණේ..  ඒ වගේ අත්දැකීමක් නම් ජීවිතේ කිසිම දවසකදී අපිට ලබන්න බැරි වෙයි.. බය කියන දේ දැනුණා. බය කියන දේ තිබුණා. ඒත් එවරස්ට් තරණය කළාට පස්සේ දැන් නම් බය කියන්නේ මොකක්ද කියලා හිතෙන තරමට අපිව හැදිලා කියලා හිතෙනවා..”

ජීවිතය කියන්නේ ඒකට ය. අත්දැකීම් වලින් අපි පිරෙන තුරු අප තුළ හිඩැස් ය. අත්දැකීම් පුරවන්නේ ජීවිතයේ හිඩැස් ය. ඒ හිඩැසින් හිඩැස අප පිරුණාම ජීවිතය සර්වසම්පූර්ණ නොවුන ද පිරිපුන් ය. ඔවුන් ජීවිතය පුරවාගෙන තිබේ. ත්‍රාසජනක අත්දැකීමක් උරුමකරගත් කිසිවෙකුට ලඟා විය නොහැකි ඉමක් ඔවුන් විසින් තරණය කර තිබේ. කුඩා වයසක් තුළ මහා දරා ගැනීමේ හැකියාවක් ඔවුන් විසින් ඔවුන් තුළ රෝපණය කරගෙන ඇත. ඒ සා විශාල ජයග්‍රහණයක් ලැබිය හැක්කන් මේ පොළවේ නැත. මේ ලක් මාතාවගේ දරුවන් ය. මේ විශිෂ්ඨයින් බිහිවන ශත වර්ෂයයි. මෙවැනි දරුවන් ලක්මාතාවගේ තුරුළේ හුස්ම ඇදීමම ආඩම්බරයකි.

- සඳරු දසනායක 

0 comments:

Post a Comment