Wednesday, September 26, 2018

එය ඝාතනයක් ද ස්භාවික මරණයක් ද ? Criminal Investigation


එය මූසල දවසකි. එය කොතරම් මූසල දිනයක් දැයි කීවෝතින් කාපු බත් පත උගුරින් පහළට ගිලෙන්නේ නැති දිනයකි. ගෙදර බල්ලා කන්පට ගසන දවසකි. නිවසින් එපිටට පය තබන තාලයට මුදුන් යටලීයේ සිටින හූනෙකු “චුක්,චුක්” ගෑ දවසකි.  සතළිස් වයස් ඉක්ම වූ දීමාල් වෙනදා පුරුද්දටම ඇඳ පැළඳගෙන පාරට බැස්සේ කල් ඇතිවම පැවරී තිබුණු වැඩකට ය. රීගල් ෆිනෑන්ස් ඉන්වෙස්ට්මන්ට් ආයතනයට අනුබද්ධව සීසර් වරයෙකු වශයෙන් සේවය කළ දිමාල් තමාට පැවරුණු වැඩ කොටසේ බැරෑරුම්බාවය කිසිදු තැකීමක් කළේ නැත. එසේ වූයේ ඔහුට සේවය තුළ තිබු පළපුරුද්ද නිසාය. ඉකුත් ජනවාරියේ විසි අටවන දිනය ඔහුගේ සේවය රීගල් ෆිනෑන්ස් ආයතනය බලාපොරොත්තු විය. ඔහුගේ වෘත්තීමය සඟයා වූයේ වාසනා දිනේන්ද්‍ර පෙරේරා ය. 


පාරිභෝගිකයින් විසින් ලීසිං වාරික ගෙවීමට පැහැර හැරීමේ දී නැවත වාහනය ලබා ගැනීමට රීගල් ෆිනෑන්ස් ආයතනය වෙනුවෙන් යන්නේ දීමාල් හා දිනේන්ද්‍ර ය.
එකී ගමන යන්නේ වෙනදා පුරුදු විදියටම ය. ලබා ගැනීමට ඇති වාහනය වූයේ මොටෝ සයිකලයකි. ෆිනෑන්ස් ආයතනය සතු වූ යතුර දීමාල්ගේ අතේ ය. වාහනය ලබාගැනීමට අයිතිවාසිකම් සහිත ලියැවිල්ල දිනේන්ද්‍ර අතේ ය. මෙවැනි ගමන් වලදී සිදුවන සිද්ධීන් පිළිබඳව දැනීමක් දෙදෙනාටම ඇත. ඔවුන් ඇතුළුවන්නේ නන්නාඳුනන ප්‍රදේශයක තමන්ට බලයක් නැති අනුන්ට බලයක් ඇති ඔවුන්ගේ නොවන වැයික්කියකට ය. එහිදී කිසිදු බලයක් හෝ හැඳුනුම්කමක් දෙදෙනාටම නැත. එක්කෝ උපායෙන් රවටා අයිති කරගත යුතුය. නැතිනම් බලෙන් අත් පත් කරගත යුතුය. මෙම කාරණා දෙකම පාරිභෝගිකයා ද බලාපොරොත්තුවෙන් සිටින දෙයක් වන නිසාවෙන් සිදු කිරීම අසීරු ය. 

එසේම කිසිදු පාරිභෝගිකයෙකු ලීසිං වාරිකය නොගෙවූ වාහනයක් දැකුම් වට්ටියක තැබූ පුද පඬුරක් පරිද්දෙන් ආපසු නැවත බාර දෙන්නේ නැත. එය ලබාගත යුත්තේ බලහත්කාරයෙන් ය. එසේ බලහත්කාරයෙන් ලබාගන්නා වාහනය නැවත ආයතනය වෙත රැඟෙන ඒමේදී ප්‍රවේශමෙන් රැගෙන ආ යුතුය. එය රැගෙන එන අතරවාරයේදී සිදුවන කරදරයන් වලට ද සීසර් වරුන් තනිවම මුහුණ දිය යුතුය. ඒ සියල්ල මඟ හැර වාහනය ආයතනයට බාර දීම ලෙහෙසි නැත. එහෙත් ඒ අපහසු කාර්යය පහසුවෙන් ඉටු කිරීමට  දීමාල් හා දිනේන්ද්‍ර දැන සිටියහ. 

අත්පත් කරගත යුතු මෝටර් බයිසිකලයේ තිබුනේ වෙන්නප්පුව බොරලැස්ගමුව ප්‍රදේශයේ ය. දිමාල් හා දිනේන්ද්‍ර මෝටර් සයිකලය තිබු ස්ථානයට ලඟා විය. බැලු බැල්මට එය අළුතෙන් මිළදී ගත් බයිසිකලයකි. නොම්බර තහඩු ගලවා තිබිණි. දිමාල් එහි තිබු යතුර කරකවා මොටෝ සයිකලය පණ ගන්වා ගත්තේ ය. දිනේන්ද්‍ර ඔහුට සහාය විය. දෙදෙනාම බොරලැස්ගමුව ප්‍රදේශයෙන් මොටෝ බයිසිකලය පැහැර ගත්තේ එහෙමය. එකී පැහැර ගැනීම නීතිමය රාමුව තුළ ඔවුන්ට වරදකාරී දෙයක් නොවූවද දීමාල් හා දිනේන්ද්‍ර යන දෙදෙනාටම මඟ හැරුණු කරුණක් තිබිණි. 

ලීසිං ගෙවා ගැනීමට නොහැකිව තිබෙන වාහනයක් නැවත අත්පත් කර ගැනීමට යාමේදී එය සිදු කළ යුතු ක්‍රියා පටිපාටියක් ඇත. ප්‍රථමව, එම අත්පත් කර ගැනීම අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැන්විය යුතුය. ඉරිදා ඇපල් අප මෙම අපරාධය සම්බන්ධව කළ ගවේෂණාත්මක තොරතුරු වලට අනුව එවැනි කිසිදු දැනුම් දීමක් පොලිස්සියට සිදු කර නොමැත.  වාහනය රැගෙන ඒමට පෙර එහි නොම්බර තහඩුවට ප්‍රථමව එන්ජින් අංකය සහ චැසි අංකය නිවැරදි දැයි අයාතනානුබද්ධව ඇති ගොනු සටහන් තුළින් බලා ඔප්පු කරගත යුතුය. 

හදිස්සියට කොරොස් කටෙත් අත දමා ගන්නට බැරිය කියා කතාවක් ගැමියන් තුළ ඇත. දීමාල්ට සහ දිනේන්ද්‍රට ද එය එසේම සිදුවන්නට ඇත. ඔවුන් දෙදෙනාටම මෝටර් සයිකලයේ එංජින් අංකය සහ චැසි අංකය පරීක්ෂා කර රැගෙන ඒමට අමතක විය. එසේ පරීක්ෂාවෙන් තොරව වෙනත් මෝටර් සයිකලයක් රැගෙන පැමිණිය හොත් එය නීතියට පටහැනි ය. එයද වඳින්න ගිය දේවාලය ඉහේ කඩාගෙන වැටීමකි. හරියට දමා ගැසූ බූමරංගය ආපස්සටම වැදුණා වාගේ ය. 

දීමාල් මෝටර් සයිකලය හදිස්සියේම පාර අයිනෙන් නැවැත්තුවේ ය. ලීසිං කළ ආයතනය සතු යතුර දමා නැවත මෝටර් සයිකලය පණ ගන්වන්නට ඔහු උත්සාහ කළේ සිතේ ඇති වූ සැකය නිසාය. කරුමයක මහත ! එය ඔවුන් රැගෙන ඒමට ගිය මෝටර් බයිසිකලය නොව වෙනත් ඒ වර්ගයේම බයිසිකලයකි. බාගවිට ඔහුට විඤ්ඤාණ ගත සිතුවිල්ල වධ දෙන්නට ඇත. ඔහු හිසේ අත ගසා ගත්තේ ය. දිනේන්ද්‍ර ද ඔහු හා හවුල් විය. කළ යුත්තේ කුමක්දැයි ඔවුන්ට සිතා ගත නොහැකිය. නැවත මෝටර් සයිකලය බාරදිය යුතුය. ඒ ගැන කථිකා කරගත්තා පමණි. 

මේ වනතුරුත් තවමත් ඔවුන් දෙදෙනා නොදන්නා දෙයක් තිබිණි. ඔවුන් පසුපස බයිසිකලයේ අයිතිකරුවා තවත් අයෙකු සමඟ පැමිණෙමින් සිටියේය. ඔවුන් එම ගැටළුව දීමාල් හා දිනේන්ද්‍ර සමඟ විසඳා ගන්නට බලාපොරොත්තුව සිටියේ නම් හොඳින් නොවේය. ඔවුන්ට අනුව එය පැහැර ගැනීමකි. ඔවුන් සතු දෙය දීමාල් හා දිනේන්ද්‍ර පැහැරගෙන යාමකි. 

දීමාල් හා දිනේන්ද්‍ර මෝටර් සයිකලය නවත්වාගෙන ආපසු එය අයිතිකරුවන්ටම බාරදෙන්නට කථිකා කරගත්තේ ය. ඔවුන් ඒ සඳහා ක්‍රියාත්මක විය. එහෙත් ඔවුන්ට ඊට ඉඩක් නොලැබුණි. පිටුපසින් පැමිණි කිසිවෙකු ගැසූ පහර වැදුණේ දිනේන්ද්‍රට ය. ඒ සමඟම එකපිට එක වැදුණු පහරවල් කිහිපයෙන් බේරෙන්නට දිනේන්ද්‍ර ඉවතට දිව ගියේය. දීමාල් මෝටර් බයිසිකලයත් සමඟම ඇදගෙන වැටිණි. ඒ දීමාල්ගේ ජීවිතයේ අවසාන ඇදගෙන වැටීම විය. නැවත දීමාල් දෙපයින් නැගිට්ටේ නැත. නැගිට්ටවන්නට ද කිසිවෙකුට නොහැකි විය. ඔහු එසේ සිටියදීම පහරවල් කිහිපයක් වැදී තිබිණි. මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව දීමාල් චමින්ද පෙරේරා යන අය මිය ගොස් තිබුණේ අධික බිය වැද්දීම හා පීඩනයට ලක්වීම නිසා ලේ නහරයක් පුපුරා යෑමෙන් ය. 
 
දීමල් යනු කලකට ඉහත දී හදවත් රෝගියෙකි. ඔහුගේ හදවතට “බයිපාස්” සැත්කමක් කර තිබෙන නිසාවෙන් ඔහු විවේක සුවයෙන් සිටිය යුතු බවට වෛද්‍යයවරුන් කියා තිබිණි. මූලික විමර්ශන වලට අනුව ඔහුගේ මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහෙත් අධිකරණ වෛද්‍යය වාර්තාවේ සඳහන් වන පරිදි දීමාල්ට පහරදීම ඔහුගේ මරණයට සෘජු ලෙස සම්බන්ධ නැත. 

අනෙක් කාරණය නම් මෙම සිද්ධියට අනුව දීමාල් හා දිනේන්ද්‍ර විසින් සැබෑවටම ආයතනික අවශ්‍යයතාවයක් සපිරුවාද නැතිනම් සැබෑවටම මෝටර් බයිසිකලයක් පැහැර ගත්තා ද යන්න දැන ගැනීමට අප වාසනා දිනේන්ද්‍ර පෙරේරා යන අයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු අපට අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතගේ උපදෙස් පරිදි වෙන්නප්පුව මූලාස්ථාන පොලිස් පරීක්ෂක එල්.බී අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ තව දුරටත් සිදුවෙමින් පවතී. මෙම මරණයේ යුක්තියේ දිශානතිය කුමන කොට්ටාශය දෙසට යොමු වේ ද යන්න තවමත් අවිනිශ්චිත ය. 

උදෑසන දෙපයින් රැකියාවට ගිය දීමාල් හවසට නිවසට පැමිණියේ සතර දෙනෙකුගේ කරමතින් ය. සුපුරුදු රැකියාව තුළ මෙවැනි නුපුරුදු අත්දැකීමක් තුළින් අවසන් ගමන් යන්නට සිදු වේ යැයි යන්න දීමාල් කිසිදු දිනක නොසිතන්නට ඇත. තමාගේ වෘත්තීය සඟයා මෙසේ තම අවසන් ගමන සනිටුහන් කරාවි යන්න දිනේන්ද්‍ර ද නොසිතන්නට ඇත. එහෙත් නොසිතන දේ සිදුවන මේ ලෝකයේ මෙය තවත් එක් මරණ වාර්තාවක් පමණක් වනු ඇත. මෙම මරණයේ වග උත්තරකරුවන්ට සිදුවන්නේ කුමක් ද යන්න විනිශ්චය කරන්නට අපට අයිතියක් නැත. අප යුක්තිය දෙස දෑස් දල්වාගෙන බලා සිටිය යුතුය.

-       🖊  සඳරු දසනායක.

0 comments:

Post a Comment