Friday, June 29, 2018

"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.."

මා මේ කතාව ලියනවා ද නැත්ද යන්න බොහෝ කාලයක් තිස්සේ සිතුවෙමි. ඊට හේතුව වූයේ මේ කතාව මත පදනම් වූ කතා බහ යෙදෙන වේලාවක ඈ මා හට එක එල්ලයේම කළ චෝදනාවයි. 


"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.." 
ඉඳින් මා ඒ කතාව නොලියා සිටින්නට අදහස් කරගෙන සිටියෙමි. 

මක්නිසාදයත් මේ මගේ කතාව නොවේ ය. මේ කතාවේ ඇගේ කතාවය. ඈ ඒ කතාව මා අබියස තබන්නේ දහසකුත් තැවුල් සිත් විඳ අවසානයේ ය. කෙසේ වෙතත් ඇගේ චෝදනාවට වලංගු නොවන පරිදි ඇගේ කතාව කෙසේ හෝ ලියා පල කල යුතුය යන සිතුවිල්ලෙන් මා නිතර දෙවේලේ බැට කෑවෙමි. අවසානයේ මා මෙය සටහන් කර බොහෝ කාලයක් බලා සිටියෙමි. දැන් ඒ කාලයට නිමාවක් දිය යුතු කාලය පැමිණ ඇත.



මා ඒ කතාවට වඩා මට මුණ ගැසුණු ඒ අපූරු ගැහැණිය ගැන කිව යුතුය යන හැඟීම මා තුළ ඇත. 
මා මුළදී මෙය ලියා පළ කිරීමට නමක් කල්පනා කළෙමි. පසුව මා මෙයට නමක් යෙදිය යුතු දැයි සිතුවෙමි. මා මේ කතාවට නමක් දෙනවා නම් දිය යුතු එකම නම ඇගේ නම ය. එහෙත් මා එය කෙසේ කරන්නේ දැයි නොදනිමි. 

මා ඇයව සොයා ගත්තේ මගේ මිතුරෙකු හරහා ය. මගේ කන්කෙඳිරිය දරාගත නොහැකි තැන “ඕනේ මඟුලක් කරගනින්” කියා ඔහු ඈ හා මා අතර බැඳීමක් හදන්නට විණි. ඔහුව නොමැතිවන්නට මා හට ඇයව මුණ නොගැසේ. ඈව මුණ ගැසුණු පසුව මේ කටයුත්ත සඳහා ඈව කැමැති කර ගැනීමට මා හට සෑහෙන කාලයක් ගත වූ අතර, එය අසීරු ප්‍රයත්නයක් වූ බවට ඔබට කිව යුතුමය. 

ඈ සුන්දර කාන්තාවකි. මගේ දෑස් වලට හසුවන ගැහැණුන් හා සසඳන විට ඈ ඔවුන්ටත් වඩා සුන්දර වීය. ඈ ගැහැණියක සතු විය යුතු සියලු හැඩහුරුකම් වලින් පිරිපුන් ඇත්තියකි. ඒ හැරුනුකොට ඈ තුළ මොකක්දෝ අමුතු පැහැයක් වීය. එය රාගය දනවන, නොයසේනම් පිරිමි සිතක් ඇද බැඳ ගන්නා අමුතුම පෙනුමක් යැයි හැඳින්වීමට කැමැත්තෙමි. 

ඈ ද මා ද මුණ ගස්සවන්නේ ගෙන්දගම් පොළවයි. ඒ පොළව එකිනෙකා පාගා දමන, කුණු කාක්කන්ගෙන් ගහන පෙදෙසකි. කාක්කෝ ඇද්දේ කුණුමය. මා ද එකල කුණු කාක්කෙකි. මා කුණු ගොඩවල් අදිමින් එහේ මෙහේ ඇවිදින්නට වූ කාලයකි එය. එහෙත් ඈ යන්න එකී කුණු ගොඩ මත මුණ ගැසුණු කුණු ගොඩක් මත පිබිදුනු තැලී පොඩි වී ගිය මලකැයි සිතමි.
මා එකී පොළව මත මිනිසුන්ගේ කතා එකතු කළ එකෙකි. මා ළඟ එකිනෙකට වෙනස් වූ නන්විධ කතාන්දර වීය. ඒ සෑම කතාවකටම වඩා ඇගේ කතාව මගේ සිත් ගත්තේය. එහෙයින් බොහෝ කාලයක් තිස්සේ වෑයම් කර ලියන්නට අදහස් කළ එකී කතාව මෙසේ ලියා පලකරමි. 


--------------------------------------




කොළඹ අහස මට බොහෝ දේ කෙටි කාලයක් තුළ උගන්වන්නට විණි. වියලි කලාපයෙන් කොළඹට ගිය මට මුණ ගැසුණු එකම මනුක්ෂය පරාණය නම් මගේ මිත්‍රයා පමණි. ඒ හැරුණු කොට මා තවත් මිනිසුන් අඳුර ගතිමි. එහෙත් ඔවුන් සංකීර්ණ ජීවන රටාව තුළ යක්ෂ වෙස් ගෙන තිබෙනවා මා දිටිමි. මා සෙවූ මනුක්ෂත්වය මට කොළඹ දී මුණ නොගැසුණු අතර, මනුක්ෂයත්වය කියා ගොඩ නැගී තිබු ප්‍රතිරූප වල තිබුණේම පුහු රංගන විධියක් පමණි. 

තිරස්චීන වෙස් ගත් මනුක්ෂය සමූහයා කොළඹ අහස යට සිට මොණර කොළ වලට මනුස්සකම් අළෙවි කළහ. අවසානයේ ඔවුන්ගෙන් මනුස්සකම් හිස්ව ගොස් තම වේෂය පමණක් ඉතිරි විය. 

බොහෝ එවුන් අරගල කරන්නට තෝරාගත් භූමිය වූයේ විහාරමහාදේවි උද්‍යානයයි. ඔවුන් අරගල කරද්දී මා එහි ප්‍රේම කරන්නට ගියෙමි. එහෙත් එකී අරගල මාධ්‍යය කැමරාවක් ඉදිරියේ කළ රැඟුමක් පමණක්ම වීය. අරගලවාදින් සියල්ලෝම එකම පිටපතකට රඟන්නට විණි. මාධ්‍යය නඩයකගේ කැමරා කාචයක් ඉදිරියේ ඔවුන්ගේ අරගල ද නිමා විණි. 

සියල්ල කුලියට සිද්ධ විණි. කුලියට අරගල කළ හ. මරණ ගෙය තුළ කුලියට හඬන්නට ආ එවුන් සිටියහ. කුලියට සිඟා කෑ එවුන් සිටියහ. ඒ අතර කුලියට මිනී මරණ එවුන් ද සිටියහ. මා ඒ අතර තවත් එක් කුලී ලියන්නෙක් විය.

කොළඹට ආ එවුන් බොහෝ ය. ඒ සියල්ලෝම කොළඹට ආවේ කොළඹීන් ඇති තරම් දෑ රැගෙන යන්නට මිස ඒ පොළව මත ඔවුන්ගේ බීජ වළලන්නට නම් නොවේ ය. බොහෝ එවුන් ඒ නිසාම තමන්ට දැරිය නොහැකි තරම් දේ අනිකාව යටපත් කරගෙන අනෙකාගේ දෙයත් උදුරාගෙන දෙයතට තුරුළු කර ගත්තෝය.

මා ඒවා දෙස බලමින් සිනාසෙමින් සිටියෙමි. මා වියලි කලාපයෙන් ගෙනා එකම දෙය මගේ සිනහව පමණකි. මා මොකක්දෝ හේතුවකට යක්ෂයින් ද මනුක්ෂයින් ද දෙවියන් ද තිරිසනුන් ද කුම්භාණ්ඩයින් ද හොටු කුණු හොයන පෙරේතයින් ද යනාදී සියල්ලෝම සමඟ දත් තිස් දෙකම එළියට දමාගෙන සිනාසුනෙමි. අවසානයේ සිනහවට ද මෙහි මිලක් නියම වී ඇති බැව් මා තේරුම් ගතිමි. එකී තේරුම් ගැනීම ලබන්නට මා හට සෑහෙන රළු අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ධ විණි. 

යම් කෙනෙකුට මිත්‍රත්වයක් උවමනා වූයේ ද මනුක්ෂත්වයක් ඇවැසියි කියා සිතුනේ ද තමා වෙනුවෙන් පාවිච්චියට ය. ඒ පාවිච්චිය නොමැති වන්නට එහි බැඳීම් කියා දෙයක් නැත. එක ගෙයි කෑ පෙම්වතුන් සිටියහ. එහෙත් පහුවදා ඔවුන් වෙන එවුන් හා පවුල් කෑවෝය. පෙරදා කුඩ නට්ටෙහි ඔලුව හංගාගෙන ගිය ජෝඩු පසුදා වෙන වෙන එවුන් හා අත් පටලාගෙන ගියහ. 

ඒ අහස යට රාත්‍රිය නිසල විය. එහෙත් ඊට වඩා භයංකර වේලාවක් මා කිසි දිනෙක නොදිටිමි. ගැහැණුන් කොච්චි පෙට්ටි වල එල්ලීගෙන ගියහ. පිරිමින් කොච්චි පෙට්ටි ඇතුළේ වාඩි වී ඉයර් ෆෝන් කණේ ගහගෙන තමන්ගේ පාඩුවේ නිදි කිරා වැටිණි. හිඟන්නෝ දුම්රිය වේදිකා වල සිංදු කීවෝය. ඔවුන් දුම්රිය එන වේලාවට මත්තෙන් කොර ගසාගෙන විත් දෑත පාන්නට විණි. එහෙත් කෝච්චිය බැරිවෙලාවත් හිඟන්නාට පෙර කෝච්චිය ඉක්මන් වුව හොත් ඔහුගේ පාත්තරයේ ඇති කාසි ද හලාගෙන හිඟන්නා ද තල්ලු කරගෙන කෝච්චි පෙට්ටියේ එල්ලුණු අරුම පුදුම මිනිසුන් මා දුටුවෙමි. 

එහෙත් වියලි කලාපයේ ගහකොළ ද මගේ කටු මැටි බිත්ති හතර ද මට අපූරු දෙයක් උගන්වා තිබිණි. මා එකී උගැන්ම විනාශ කරගත නොහැකි තැන නිහඬ වූයෙමි. සිනාසුනෙමි. බැරිම තැන අවලාද කීවෙමි. ඇතැම් විට කෑ ගැසුවෙමි. බෝඩ් ලෑලි උස්සාගෙන අරගල කරන්නට ගියෙමි. එහෙත් ඒවා වැඩකට නැති හඬක් පමණක්ව යටපත්ව ගියේය. ඈව මට මුණ ගැසෙන්නේ එහෙව් පසුබිමකය. ඒ මගේ උවමනාවට ය. එහෙත් එකී උවමනාව පිටුපස බොහෝ එවුන් සිටියහ. මුලදී ඈ මා මඟ හරින්නට ඈ එය හේතුවක් කරගත්තා ය. 

******************************************

එය විසල් නැවතුම්පොළකි. කුණු ගඳ ගහන මුහුදු හුළඟ එතැනට එබිකම් කළේ නැත. එහෙත් ඒ හමා ආ සුළඟ තුළ මොකක්දෝ සුවඳක් තිබිණි. ෆ්ලොටින් මාකට් එකේ සිම් විකුණන අයියලාගෙන් එහි කරදර නොතිබිණි. කොඳු නාරටිය සෘජුව තබාගෙන ගිය වැරහැලි ඇඳගත් එවුන් මිනිසුන් දුටු තැනේදී කොර ගසාගෙන කොඳු පාත් කරගෙන එන රෝග බිය එතැන තිබුනේ නැත. කොයි මොහොතේ හෝ කාක්කෙක් පාහරාවී දෝ යන බය එතැන නොතිබිණි. තනිකරම දැවයෙන් නිමවූ එකී ස්ථානයට කියන්නේ රෙස්ටුවරන් ද නොමැතිනම් කොෆී ෂොප් ද නැතිනම් වෙනත් නමක් තිබෙනවා ද යන්න මා නොදනිමි. එහි තිබු නිදහස් බවට එකී ස්ථානයට පැමිණි මොහොතේ දීම මා ඇළුම් කළෙමි. තප්පර කටු ටික් ටික් නදින් විනාඩි කටු ඉස්සරහට තල්ලු කළේ ය. මා සිටියේ ඈ බලාපොරොත්තුවෙනි.

ඒ අපගේ පළමු හමුවයි. 

"සඳරු.. ඔයාද සඳරු.." මා මගේ පිටුපසින් ඇසුනු හඬත් සමඟ වාඩි වී සිටි අසුනින් නැගිට අනෙක් පස හැරුණෙමි. මා ඉදිරියේ මා බලාපොරොත්තු නොවූ තරමේ ශෝබාවන්ත පෙනුමක් ඇති ගැහැණියක් සිටියාය. මා ඈට සිනහවකින් දමා ගැසුවෙමි. ඈ ද පෙරලා සිනාසුණා ය. ඒ අපගේ පළමු ගණුදෙනුවයි. 

"ඔයා තමයි සඳරු.. නේද.." ඈ නැවතත් මිමිණුවා ය. මා සිටියේ අසුනින් නැගිට ඈ හිඳ ගන්නා තුරුය. එහෙත් ඈ මා දෙස බලාගෙන සිටියා මිසක වාඩි වූයේ නම් නැත. 

"වාඩි වෙන්න.." මා හිඳ සිටි පුටුවට අනෙක් පසින් වූ අසුන ඇද ඇයට කීවෙමි. ඈ නැවතත් සිනාසුණා ය. 

"වාව්.. කොල්ලට හැබිට් තියෙනවා.. තෑන්ක් යු සඳරු.." ඈ නැවතත් සිනාසෙමින් වාඩි වූවාය. පුරුදු කෙසේ වෙතත් මා ස්වන්වරයෙන්ම ආ දෙයක් තිබිණි. එය නිරායාසයෙන්ම සිදු වූවා පමණි. 

"මොනවද බොන්නේ.. තේ.. කොෆී.. නැත්නම් කිරි එකක්.. එහෙමත් නැත්නම් ෆෘට් ජූස්.."
"ම්ම්.. ඒවාද මේකේ තියෙන්නේ..?" ඈ දෙතොල ඇද කරමින් අකමැත්තෙන් වාගේ මා දෙස බැලුවා ය. මා ඇගේ කැමැත්ත බාල කොට සැලකුවා දැයි සිතා ලැජ්ජාවට පත් වූයෙමි. කොළඹ ගැහැණුන් වෙනස් ය. ඈ කොළඹ නොවුන ද ඈ දැන් මේ පොළවේ මුල් ඇදගෙන තිබෙනවා නොවනුමානය. එහෙයින් මා ඈ දෙස සාම්ප්‍රදායික දෑසකින් බැලීම සුදුසු නැත.

"සැර ජාතිනම් තියෙනවද දන්නේ නැහැ.. ඉන්න අහලා බලමු.. මම අහලා එන්නද..?" 

"නැහැ නැහැ කොල්ලෝ.. මම විහිළුවක් කළේ.. අපි ෆෘට් ජූස් එකක් බොමු.. ඔයත් ආස එහෙමනේ.." 

"කොහොමද දන්නේ?" සැබෑවටම මා පුදුමයට පත් වූයෙමි. මගේ මිතුරන්ගේත් හොඳම මිතුරන් පමණක් දන්නා එකී රහස ඈ දැනගත් විදිය පුදුමාකාරය. අනෙක් අතට මා සියල්ල සඟවා ගත් එකෙකු වීම නිසා, මෙසේ මගේ පෞද්ගලික කැමැත්තක් ගැන ඈ වැනි මා නොදන්නා ගැහැණියක් දැන සිටීම පිළිබඳව ඇති වූයේ කුහුලකි. 

"මම ඔයාව දන්නවා.. ඉතිං සඳරු.. කොහොමද.. වැඩ එහෙම කොහොමද? කොළඹ කොහේද ඉන්නේ.." 

"නැහැ.. ඔයා කියන්න කොහොමද අරක ගැන දන්නේ.. මම ෆෘට් ජූස් වලට කැමතියි කියලා.." මට පුදුමයෙන් ගැලවීමට නොහැකි තැනේදීත් ඈ එය මඟ හරිද්දීත් මා ඒ වචන කිහිපය ආයාචනා මිශ්‍ර ස්වරයෙන් කියන්නට ඇත. එය මට මදි පාඩුවක් වූයේ නැත. ඒ තරමට මා දවන ලද කුහුලක් ඒ පිළිබඳව ඇති වී තිබිණි.

"අයියෝ ඒක එච්චර දෙයක් ද.. මම දැනගත්තා. ඔයා ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ කොහේ හරි තැනක එහෙම කියලා තියෙනවා. කිරි බොන්න කැමැති නැහැ. මස් මාළු කන්නේ නැහැ.. පළතුරු කන පණුවෙක් ය කියලා.." අප දෙදෙනාම සිනා සාගරයක ගිළුනෙමි. එහෙත් ඇගේ පිළිතුරින් ඈ විසින් මා සියුම් අධ්‍යනයකට ලක් කර සිටි බව මා අවබෝධකොට ගතිමි. එය බුද්ධිමත් අධ්‍යයනයකි. ඈ අමාරුකාරියක් බැව් මට වටහා ගන්නට එය සැළකිය යුතු පිළිතුරක් වීය. තවත් අතකින් එවැනි අධ්‍යනයකට මා ලක් කිරීමට තරම් මා පිළිබඳව ඈ තුළ ඇතිවී ඇති අවිශ්වාසය පිළිබඳව කම්පාවක් ද ඇති නොවුනාම නොවේ ය.

"සඳරු මට ගොඩක් වෙලාව නම් නැහැ. මම පහට යන්න ඕනේ.. මම කිව්වනේ.. ඉස්සර වෙලා අපි මුණ ගැහෙමු.. පස්සේ කතා කරමු කියලා.." මගේ ඔරලෝසු සටහනට අනුව එය පැයක තරම් කාලයකි. එසේ නම් මා තව මිනිත්තු හැටකින් ඇගෙන් සමුගත යුතුය. ඊට මා සිතේ අකැමැත්තක් පැවැතිය ද මා එය නොපෙන්වා ඉන්නට උත්සාහ ගතිමි. 

අප යම් කිසිවෙකුගෙන් දෙයක් ගන්නටනම් ඔවුන්ට සමීප විය යුතුය. ප්‍රථමව සමීප වන්නට හේතුවක් සොයාගත යුතුය. අප යම් කිසිවෙකුට අප සතු යම් කිසි දෙයක් දෙන්නේ නම් ඔවුනොවුන් පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුය. මේ අපගේ පළමු හමුවීමත්, මේ අපගේ පළමු කතා බහ වීමත් නිසා හදිස්සි වීම හෝ හදිස්සියක් ඇති කරගැනීම නොකළ යුතුය යන සිතුවිල්ල මා තුළ විණි. අනෙක් අතට ඈ නිකන්ම නිකන් මා සිතු පරිදි බොළඳ ගැහැණියක නොවන බවත් මා තේරුම් ගත යුතුව තිබිණි. එහෙත් එකී තේරුම ලැබුනේ ඈ හමුවීමෙන් පසුවය. පළමු වචන දෙක තුන හෝ කතා කළ පසුවය. 

"ඒකට කමක් නැහැ. අවසානෙදි අපි මුණ ගැහුණා නේ.. ඒක නෙමෙයි ෆේස්බුක් රික්වෙස්ට් එක ගන්න පුළුවන් ද.. මම දාපු.. ඒක දාලා දැන් සෑහෙන කාලයක් වෙනවා.. තාම පෙන්ඩින්.." 
"අපි තව ටිකක් අඳුර ගමු සඳරු.. තරහා වෙන්න එපා.. මම මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ.. විශේෂයෙන් ඔයාලා වගේ පිරිමි.." 

"ඒකට කමක් නැහැ.. ඔයාට ඇති තරම් කාලයක් ගන්න.. ඒත් ඔය විශ්වාසය කවදා ඇතිවෙයි ද..?" 
" සමහරවිට ඇති නොවෙන්නත් පුළුවන්.. අනික මගේ එකෞන්ට් එකේ මම තියාගෙන ඉන්නේ මම ලඟින්ම ආශ්‍රය කරන අය විතරයි.. එකේ තියෙන දේවල් වෙන කෙනෙක් අරගෙන විකෘති කරනවට මම කැමති නැහැ.. ඔයා ලොකු කතා කිව්වට හරි පොඩි එකෙක් නේ.. වයස කීයද?" 

"ෆෘට් ජූස් එක බොන්න.. අයිස් ක්‍රීම් නැති එක මගේ හරිය.. මොකද මට ඔය කිරි ගඳ ගහන ඒවා හරි අපුලයි.." 
"මගේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නැහැ නේ..?" 

"ඒකට උත්තරයක් ඕනේම ද මන්දිරා.. මමත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ.. විශේෂයෙන් ගෑණුන්ව.. මමත් විශ්වාසය මත වැඩ කරන මනුස්සයෙක්.. පොඩි එකෙක් වෙන්නැති.. හැබැයි මටත් මගේම කියලා ජීවිත කතාවක් තියෙනවා.. අපි දෙන්නට අපි දෙන්නාවම විශ්වාස කරන්න පුළුවන් දවසක් ඒවි නේ.. ඔයා මුලින් ඒක කරන්න.. මම මාව විශ්වාස කරන මිනිස්සුන්ව විශ්වාස කරනවා.. මාව විශ්වාස නොකරන මිනිස්සු මමත් විශ්වාස කරන්නේ නැහැ.." 
"අම්මෝ මූ යකෝ.. මගේ වචන වලින් මටම ගහනවා නේද..?" 

"ඒක මගේ විදිය.. ඒක නෙමෙයි කලින් මෙතැනට ඇවිදින් තියෙනවද? හරි ලස්සන තැනක්.. ඒ වගේම නිදහස්.." මා ඇගේ දෑස් දෙක එක එල්ලයේ බලා නැවතත් අවට පෙන්වමින් ඇසුවෙමි. තැන තැන කුඩා මේස වටා වාඩි වූ ප්‍රියයන් ය. ඒවායේ ප්‍රිය කෙඳිරි ලි ය. ඔවුන් පෙම්වතුන් විය හැක. ඒ අතර යහළු මිත්‍රයන් යැයි සිතිය හැකි අයගේ නිහඬතාවය බිඳින සිනාහඬ වල් ය. ඒ අතර පසුබිමින් ක්රීස් ගා බිල් දමන යන්ත්‍රයෙන් බිල් කැඩෙන හඬ ඇසේ.
"ඔව් දෙපාරක් විතර.." 

".. මම හරි ආසයි මේ වගේ තැන් වලට මන්දිරා.. මේ ලී වලින් හදාපු තැන් වල අමුතුම රහක් තියෙනවා. රහක් කිව්වේ අමුතු දෙයක්.. ඒක තේරෙන්නේ නැහැ කියන්න.. මාත් හදනවා කවදාහරි මෙයින් එකක්.. හැබැයි මෙහේනම් නෙමෙයි නුවර එළිය, අබේවෙල දිහාට වෙන්න.. කවදාහරි දවසක මම ආසයි එහාට වෙලා මේ වගේ පුංචියට මොකක් හරි අටෝගෙන, අර ඔයාට පේනවා ද එළියේ තියෙන හාන්සි පුටු වගේ එව්වා.. අන්න ඒ එහෙකට වෙලා බියර් එකක් බිබී වෝක් මන් එකක් ලඟින් තියාගෙන ෆැන්ටසි ආතල් එකක් ගන්න.. ආ නිදහසේ පොතක් කියවන්නත් මරු.." 
".. ඔයාට මරු අදහස් තියෙන්නේ සඳරු.. ඔයා හදන්නකෝ අපිත් එන්නම් කෑම වේලක්වත් කාල යන්න.. හැබැයි එදාට ඔයාගේ වයිෆ් එලෝ ගනීද දන්නේ නැහැ මේ ගෑණි මොකීද කියලා.." 

"එහෙම එළවන ගෑණු මම ගන්නේ නැහැ.." මා මවාගත් අමනාපයෙන් කීවෙමි. ඈ ඇගේ දසන් විහිදුවන්නට විණි. එය ප්‍රිය උපදවනසුළු සිනහවකි. මා ඇගේ සිනහව හා ඈ දුටු තැනේදීම බැඳුනෙමි. මන්ද මෙවන් පුරවරයක එවැනි අව්‍යාජ වූ සිනහවක් ලැබෙන්නේ අහම්බෙන් ය. ඒ තරමට මෙහි සිනහව අල්පය. සිනාසුනහොත් ලැබෙන්නේ රැවුම් ය. මා ඒවා ඕනෑවටත් වඩා ලබා තිබිණි.

"ඉතිං මන්දිරා, ඇයි ඔයා ඔහොම වෙන්නේ?" මා ඈ බලා සිටියදීම මොබයිල් ෆෝනයේ රෙකෝඩරය ඔන් කළෙමි. ඇගේ ඇහි බැම දෙපසට විහිදී ගොස් දෑස් කුඩා වී ඇගේ මුහුණේ ස්වරූපය වෙනස් වීමට ගත වූයේ නිමේෂයකි.

"ප්ලීස් සඳරු.. ඔය වැඩේ කරන්න එපා.. ඔයා මගෙන් ඇහුවේවත් නැහැ.. මම අද ආවේ ඔයාව මුණ ගැහිලා යන්න විතරයි.. ඔයාට මොනාහරි කියනවද නැත්ද කියලා මම පස්සේ තීරණය කරලා කියන්නම්.." 

"සොරි.. මම කළේ වැරැද්දක්.. සොරි.." 

ඈ අමනාපයෙන් ඉවත බලාගත්තා ය. එහි ද ව්‍යාජයක් නොවිණි. මා කළ වැරැද්ද පිළිබඳව ඈ තැවෙනවා ද නැත්ද යන්න සිතමින් මා තුළ අනියත බියක් හට ගත්තේ ය. සැබෑවටම මා බිය වූයෙමි. මක්නිසාදයත් මා කළ නොහික්මුණු දෙය නිසා ඈ මා සමඟ උරණ වන්නට සාධාරණ හේතු තිබු නිසාය. අනෙක් අතට ඇගෙන් ලැබිය යුතු දෑ ඇගෙන් නොලැබී ගොස් මා අසමත් වේ ය යන බියය. මා ඒ දෙයාකාරයටම නතු විණි.

"සඳරුට ගෑණු ළමයෙක් ඉන්නවද? මම කිව්වේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්..?" 

"ඔව්.. ඉන්නවා ඇයි? " 
"එයා මොකද කරන්නේ? ඒ කියන්නේ ඉගෙන ගන්නවද? නැත්නම්.. සඳරු වගේම ජොබ් එහෙක ද?" 

"කැළණි කැම්පස් එකේ.. මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරනවා.. ඔව් ජොබ් එහෙක ඉන්නවා.. ඒ ගැන ඇයි?"
"එහෙනං හොඳට ඉගෙන ගත්තු කෙල්ලෙක්.." 

"ම්ම්.. ඔව්.. මම එහෙම හිතනවා.. මට ඒ ගැන ලොකු දැනුමක් නැහැ.. එයා කරන සබ්ජට් ගැන.. අනික අපි ඇතුළේ ඒ දේවල් කතා කරනවා හරි අඩුයි.." 
"සඳරු එයාට ඇත්තටම ආදරෙයි ද?" 

"ඔව් මන්දිරා.. මට එච්චරයි ඉන්නේ.." 
"එතකොට සඳරුගේ පවුලේ විස්තර මොනාද? සහෝදරයෝ ඉන්නවද?" 

" ඔව් අක්කලා දෙන්නයි.. මමයි.. අයියයි.." 
"ලොකු පවුලක් නේ කොල්ලෝ.." 

"ඇත්තටම නැහැ.. අපේ පවුලේ මම විතරයි.. අක්කලා දෙන්නයි අයියයි නැන්දාගේ දරුවෝ.. ඒත් පවුල ගැන අහනකොට මම එක බඩවැල කඩාගෙන නාවත් ඔහොම කියනවා.. එයාලා ඉතිං මගේම තමයි.." 
මා තුළ වූයේ අමුතුම ආඩම්බරයකි. එය ඉස්මතුවෙමින් පැවතිණි. සාමාන්‍යයෙන් සිදුවන්නේ මා කිසිවෙකු ප්‍රශ්න කිරීම විනා කිසිවෙකුදු මා යන්න ප්‍රශ්න නොකිරීමයි. එහෙත් මෙහිදී එය වෙනස් විය. ඈ මා ප්‍රශ්න කරමින් සිටියාය.

"සඳරු විතරද එතකොට?" 

"ඔව් මම විතරයි.." 
"ඇයි ඔහොම රස්සාවක් තෝරාගත්තේ..?" 

"මේක මගේ රස්සාව නෙමෙයි.." 
" ඒත් ඔයා රස්සාවක් විදියටනේ කරන්නේ.. එකම පවුලේ ළමයා.. මේ වගේ කොළඹ ඇවිදින්, මේ වගේ රස්සාවක ඉඳන්, මම වගේ ගෑණියක් මුණ ගැහෙනවා. අම්මලා මොනවද හිතන්නේ..?" 

"අම්මලා මම ගැන දන්නවා.. අනික එයාලා මොනවා හිතුවත් මට මොකෝ.. මම වැරැද්දක් කරන්නේ නැහැ නේ.." 
"හිතුවක්කාර කොල්ලෙක් නේ.. ඉතිං සඳරුට පුළුවන් නේ මීට වඩා හොඳ දෙයක් කරන්න.. මම කියන්නේ වෙන දෙයක්.." 

"ඔව් පුළුවන්.. ඔයා කියන්නේ මොන වගේ දෙයක් ද?" 
"සඳරුට මේකෙන් සල්ලි ලැබෙනවා.. නිදහසේ ඉන්නවා.. එහෙම නේද?" 
"ඔව් ඉතිං, මම වැඩ කරන විදියට මට සල්ලි හම්බ වෙනවා.." 

" සඳරු අපි හැමෝටම රස්සාවක් ඕනේ.. සඳරු වගේ නෙමෙයි මම.. සඳරු මම තරම් තැලිලා නැහැ. පොඩි වෙලත් නැතුව ඇති.. සඳරුලා කතාන්දර හදන මිනිස්සු.. මම කතාන්දර අහන ගෑණියක්.. මේක මගේ රස්සාව සඳරු.. ඒක සඳරුලා වගේ අයට පුදුම වුණාට මේක ඇතුළේ ඉන්න අපිට සාමාන්‍යය දෙයක්.. ඔයාට තේරෙනවා ද මම කියන දේ " 

" සොරි.. වැරදි දෙයක් ඇහුවානම්.. මම ඇහුවේ ඒක නිකමට.. ඇයි ඔයා ඔහොම දෙයක් කරන්නේ කියන එක.. මට දැනගන්න තියෙන උවමනාවට.." 

"ඒකට කමක් නැහැ.. ඔයා කරන්නේ ජොබ් එක.. මම ඔයාගේ ජොබ් එකට උදව් වෙනවා විතරයි.. එහෙම නේද..? මම මගේ කතාව කීවම ඔයාට මාව වැඩක් නැති කෙනෙක් වෙනවා.. ඒකත් මගේ රස්සාව වගේනේ සඳරු.. හැම පිරිමියටම මාව ඕනේ වෙන්නේ කෙළින් වෙනකොට විතරයි.. එයාලාට ඕනේ දේ ලැබුණාම එයාලා මගේ දිහාවත් නොබලා යන්න යනවා.. ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.. ඔයත් එහෙම පිරිමියෙක් උනොත්.. අනික ඔයා ඉල්ලන්නේ අනිත් පිරිමි ඉල්ලනවට වඩා බයානක දෙයක්.. ඔයා ඔයාගේ ගෑණු ළමයාගෙන් ආදරේ ඉල්ලනකොට එයා ඒක එකපාරටම දුන්නේ නැතුව ඇතිනේ.. එයා ඒක දුන්නේ සෑහෙන කාලයක් අරගෙන නේද.. ඔයා ඉල්ලන්නේ මගෙන් ඒ වගේ දෙයක් නොවුනා උනාට මේ මගේ ජීවිතය.. ඔයාට තේරෙනවා ද.. ඔයාට නොතේරෙන්න විදියක් නැහැ.." 

ඈ අමාරුකාරියකි. ඈ මගේ උදව්වෙන්ම මා වෙනත් මාවතකට යවනවා ය. ඇයට මගේ අරමුණත් මා සිටි බලාපොරොත්තුවත් බිඳින්නට ගත වූයේ ස්වල්ප වේලාවකි. ඈ එය මගේ මානුෂීය හැඟීම් අවදි කොට අසීරුවකින් තොරව සිදු කළා ය. මා සිතුවිලි වලින් ගහණ කල්පනා සාගරයකට තල්ලු කළා ය. එහෙත් ඈ කියන කතාවේ ඇති වරදක් නැත. ඈ කියන කතාව ඈට අනුව සර්ව සාධාරණය. ඈ දෙන්නේ ඇගේ මුළු ජීවිතයම ය. මා එය ගෙන ගොස් ඔබන්නේ කුණු ගොඩක් තුළ නම් හෝ මා එය විකුණා දමන්නේ අනිසි අතකට නම් එයින් පීඩාවට ලක් වන්නේ ඈ ය. 

"මම ඔයාට කැමතියි.. මන්දිරා.. ඔයා අමුතුයි.. ඔයා අනිත් පැත්තෙන් වෙනස්.. මම මේ ඔයාව උඩින් තියනවා නෙමෙයි.. ඔයාගේ කතාව මට නොදුන්නත් කමක් නැහැ.. හැබැයි ඔයා යන්න ඕනේ ඔයාව මම දකින්නේ කොහොමද කියලා දැනගෙන යි.." 

මා සැබෑවටම එසේ කීවෙමි. මා කියූ දෙයෙහි සත්‍යය තාවය සාක්ෂ්‍ය කර ගන්නට ඇගේ වචනය ප්‍රමාණවත් වීය. ඈ ඕනෑවට වඩා මා ප්‍රශ්න කරන බවක් පෙනෙයි. ඈ ඕනෑවට වඩා කියවයි. ඈ ඒ සියල්ල සිදු කරන්නේ ඈ වෙනුවෙනි. ඇගේ රක්ෂණය වෙනුවෙනි. ඈ ඒ සියළු දෙයින්ම අපූරුවට අනෙකාව පාලනයට නතු කර ගන්නට දක්ෂය. එය ගැහැණුන් උප්පත්තියෙන් ලද නුවණක් විය යුතු යැයි මා සිතමි. 

එක ලෙසකින් ගත් කළ ඈ මගේ ගොදුරය. මා ඈව දඩයම් කළ යුතු විනා ඈ හට මා දඩයම් කිරීමට ඉඩ දිය යුතු නැත. එහෙත් මා ඇගේ ගොදුර බවට පත් කිරීම ඈ ලෙහෙසියෙන්ම සිදු කළා ය. එහෙයින් ඈ පුදුමාකාර ගැහැණියක් නොවන්නේ ද ? 

"සඳරු, මම මෙතැනට දෙපාරක්ම ආවේ මගේ යාළුවො එක්ක.. මම මතක කාලයකින් පස්සේ පිරිමියෙක් එක්ක මෙහෙම වාඩි වෙලා කතා කරන්නේ පළවෙනි වතාවට.." 

"මට හිතා ගන්න පුළුවන්.. ඒක දරාගන්න අමාරුයි හැබැයි.." 
"ඔයාට ද?" 

" නැහැ මම කිව්වේ ඔයාට.. ඔයාට ඒක දරාගන්න අමාරු ඇති.." 
"ඔව්.. අර ඉන්න කොල්ලෝ කෙල්ලෝ දකිද්දී පොඩි ජෙලක් නැතුව නෙමෙයි.. එහෙම වෙන්නේ ඇයි සඳරු.."

ඈ මාතෘකාව සැණෙන් වෙනස් කොට කතාබහට අළුත් හැඩයක් දුන්නා ය. එය තරමක අස්වැසිල්ලක් වූයේ මටය. නොමැතිනම් මා පත්වන්නේ මට ද කට උත්තර නැතිවන තැනකට බැව් මා හොඳාකාරවම දනිමි. 

"තමන්ට දෙයක් අහිමි වෙලා.. මටත් නැති වෙච්ච දේවල් ගොඩයි.. මාත් ඒ වෙලාවට තනි වෙලා තියෙනවා.. දෙනෝ දාහක් මැද්දේ තනි වෙලා, මට නැති වෙච්ච දේ වෙන අය බුක්ති විඳිනකොට හිතින් ඉරිසියා කළා.. ඒක හරි අහිංසක ඉරිසියාවක් මන්දිරා.." 

"ඔයා හරි ලස්සනට ලියනවා.. ඔයා මම වගේ කෙනෙක්ගේ කතාවක් හොයනවා කියද්දී මම ඉස්සරලාම ඔයාව හෙව්වා.. කොහොම එකෙක්ද.. මොනවද කරන්නේ.. වගේ දේවල්.. ඔයා අර ලියන පුංචි පුංචි දේවල් ඇතුළේ සමහර වෙලාවට දුක හිතෙන.. සමහර වෙලාවට පොඩි සතුටක් දැනෙන.. අතරමන් වෙන දේවල් තියෙනවා.. මම ඒකට ආසයි.. ඔයා මගේ කතාව කොහොමද ලියන්නේ..?" 

"මම කොහොම උනත් ඇත්ත ලියනවා.." 
"ඒක පොතක් ද, ආටිකල් එකක් ද, නැත්නම්.. ඒක මොකක් වෙයිද සඳරු.." 
"ඒක ඇත්තම කතාවක් වෙයි.. ඒක කොහොම දෙයක් වෙයිද මට පොරොන්දු වෙන්න බෑ.. හැබැයි, මම ඇත්ත ලියනවා.. එච්චරයි.." 

" ඒක නෙමෙයි කොල්ලෝ මම යන්න ඕනේ.. අපි ආපහු හම්බ වෙමු.. බිල් එක මගේ ගානේ.. ඔයාට අවුලක් නැත්නම්.." 

ඈ ඔරලෝසුව දෙස බලා මද සිනහවක් නගා ගත්තා ය. නැවත ඇගේ පොකැට්ටුව යැයි සිතිය හැකි යමක් බෑගයෙන් එළියට ගත්තා ය. මා ඈ දෙස බලාගෙන සිටියේ අමුතු සතෙකු දෙස බලනවා වැනි බැල්මකින් දැයි මා නොදනිමි. එහෙත් මා ඈ දෙස බලාගෙනවත්ම බලා සිටියෙමි. ඒ ඇගේ අහිංසක වූත් සුන්දර වූත් ක්‍රියාවන් දෙසය. ඒවා ගැහැණු කයකට මුල් බසින්නේ කෙසේ ද යන්න සෙවීම ද මිහිරකැයි සිතමි. ඒ තරමට ගැහැණියක් සතුව මෘදු වූ හැසිරීම් රටාවක් ඇත. 

"අවුලක් නැහැ.. මාත් මේ දවස් වල රීම් එකෙන් දුවන්නේ.. ඒක නෙමෙයි.. මට ඔයාගේ නම්බර් එකවත් දෙන්න.. අපි ආයේ හම්බ වෙමු.." මා හදිස්සියේ සිහිය ලත් එකෙකු මෙන් සිනාසෙමින් කීවෙමි. 

"ඔයා පණ්ඩිත කතා කියන පොඩි කොල්ලෙක්.. ෆෝන් එක දෙන්න මම සේව් කරන්නම්.." 
ඈ මගේ ජංගම දුරකථනය බලෙන්ම වාගේ උදුරා ගත්තා ය. මා ඇයට ඉඩ දුන්නෙමි. 

"ඒක නෙමෙයි, මම රෙකෝඩ් එක ඩිලීට් කරනවා.."

"ඒකට කමක් නැහැ.. එකේ රෙකෝඩ් වුනෙත් නැහැ.." 
මා අසරණ වූයෙමි. ඒ අසරණකම මන්දිරා විසින් ව්‍යායාමයකින් තොරව මා වහල් කොට ගෙන සිටීම යැයි කිසිවෙකු කීවෝතින් මා හිස සලා එය අනුමත කරමි.

ගැහැණුන් කපටිය. එය ඔවුන්ට ලැබුණු දායාදයකි. එහෙත් ඇයට කිසියම් තැනකදී එකී දායාදය ලැබීම පමා වන්නට ඇත. නොමැතිනම් ඈ මෙවැනි තැනකට පත්වෙන්නේ නැත. ඇයට එය නිසි කල උරුම වූවානම් මා ඇයව වෙනත් තැනකදී වෙනත් අරමුණක් තකා හමුවනු ඇත. එහෙත් දෛවය මොකක්දෝ සරදමක් කර තිබිණි. ඒ ඇගේ ජීවිතයට ය. එහෙත් ඈ සතු උපායශීලිත්වය පිළිබඳව මා කම්පා නොවුනෙමි. ඇයට අවශ්‍යය විශ්වාසය ලැබෙන තුරු, එය ඇයට තහවුරුවන තුරු මා යන්න තවත් එක් චරිතයක් ලෙස ඈ වටහා ගන්නවා ඇත. ඒ පිළිබඳව සිතා මා කම්පා වීම හෝ තරහව ආරුඩ කර ගැනීම සුදුසු නැතැයි මා තේරුම් ගතිමි. 

"සඳරු කොහොමද යන්නේ? දැන් බෝඩිමට ද යන්නේ.."
"ඔව්.. මම නුගේගොඩට යන්න ඕනේ ට්‍රේන් එක අල්ලාගන්න.. ඔයා යන්න.. මම එන්නම්.."

"යමු මගෙත් එක්ක යන්න පුළුවන්.. අපි පික් මී එකක් ගමු.. මම නුගේගොඩින් ඔයාව දාන්නම්.." 
"ඒකට කමක් නැහැ මන්දිරා.. ඔයාටත් කරදරයක්.. ඔයා යන්න.. මට බස් එහෙක එල්ලෙන්න පුළුවන්.."

"මොන කරදරයක් ද ළමයෝ.. එන්න යන්න.." 

මිනිසුන් ජීවිතයට හමුවන්නේ මහා පුදුම විදියට ය. මා හමු වූ පුද්ගලයින් ද මා හමුවන්නට යෝජිතව සිටි පුද්ගලයින් ද හා සසඳන විට ඈ තුළ ඒ කිසිවෙකු ළඟ නොතිබුණු අරුම පුදුම ගති ස්භාවයන් ගැබ් වී තිබිණි. මා ඒවාට ආදරය කළෙමි. මා එසේ ආදරය නොකලා නම් එය අගෞරවයකි. 

කාලකන්ණි සමාජ වපසරියක් මා දෙපස ගිල ගනිමින් සිටිය දී ද, තුන් පැය මුළුල්ලේම දවා අළු කරන්නට බලා සිටින අහසක් යට හිඳ අප දෙපැත්තකට ඇදී ගියෙමු. ඈ ඇගේ රැකියාවට ය. මා මගේ නවාතැන්පොළට ය. මට තිබු නැවතුම ඇයට නොතිබීම ගැන මගේ සිත තුළ කම්පාවක් නොතිබුනාම නොවේය. එහෙත් එක් දිනක් තුළ හෝරාවක් තුළ හමුවූ ඈ පිළිබඳව කම්පාවන සිතක් මට ලැබීම පිළිබඳව ලැජ්ජාවක් ද ඇති නොවුනාම නොවේ. මා එය යටපත් කර ගතිමි. 

ප්‍රසූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා වූ මේ යන ගමන් මඟ තුළදී අපට උරුම වූ චරිත පොළව නම් වූ වේදිකාව මත රඟ දැක්විය යුතුමය. කවුරුන් හෝ අප දෙස බලාගෙන සතුටු වනවා ඇත. ඒ දෙවියන් නම් දෙවියන් වහන්සේ ලබන එකී බාල සතුට ගැන ලැජ්ජා විය යුතුය. අවසානයේ මා සියල්ල අරඹයා ඒ මනඃකල්පිත මහා ජීවියාට වෛර කරමින් සිත හදා ගතිමි. 



( ඊළඟ කොටස ඉඩ ලැබුණු අවස්ථාවක ) 



- සඳරු දසනායක 

2 comments:

  1. සුබ පැතුම් සදරු අලුත් බ්ලොග් එකට..........අමුතු කතාවක්,හැමෝම ලියන කතා වලට වඩා වෙනස්.බලන් ඉන්නව ඉතුරු ටික කිය්වන්න මේක මුලින් කියවපු දවසෙ ඉදන්ම.

    ReplyDelete
  2. අද නේ දැක්කේ මේක උබ ඉතින් කවදත් රසට ලියනවා නෙහ් සදරුව ජයෙන් ජය දිගටම එන්න ෆොලෝත් කරගත්තා

    ReplyDelete