Friday, June 29, 2018

"සමහර මිනිස්සු කහ ඉරෙන් මාරු වෙනකොට හැරමිටියට පයින් ගහනවා"


මලිත් 
ප්‍රභාතයේ හිරු එළිය මනරම් ය. තුරුලතා පිණි දියෙන් දෝවනය වූ උදෑසනක දෑස් ඉම උපදින සේයාවන්ගෙන් මනසට ශාන්තිය ලඟා වේ. එකී ශාන්තිදායක වූත් එකී මනස්කාන්ත වූත් සිතුවම් පට දිගේ ඉදිරියට ඇදෙන්නට නම් අඳුර උරාගත් ආලෝකය තිබිය යුතුය. ආලෝකයට කළ හැකි දෑ බොහෝය. ආලෝකය පිරුණු තැන් වල ද අඳුරු කුටි ඇත. ඒ මේ ලෝකයේ වෙනත් කතාවකි. මේ ලෝකය හිරුගේ දීප්තියෙන් නැහැවෙද්දීත් මේ ලෝකය උදා වූ ආලෝකයේ කිරණින් ආඩම්බරයෙන් වාගේ හුස්ම අදිද්දීත් එකී ආලෝකය නොදැක, අඳුර තුළ හුස්ම අදින ජීවිත අප අතර කොතෙක් ඇත්ද..


පෙකණි වැල සිඳගෙන ප්‍රසුතිකාගාරයෙන් එලිබට ජීවිතයකට හිමිවන දේ බොහෝ ය. සමාජ පසුබිම මත ඔහුට හෝ ඇයට ජාතියක් ආගමක් හා අනන්‍යයතාවයක් නොමිලයේ ලැබෙන අතර ජීවිතය දුවන පීල්ල මත ඔහුගේ හෝ ඇයගේ ගමනාන්තය තීරණය වේ. සමාජීය සත්කාර පුද්ගලයෙකුගේ ජීවිතය එසේ තීරණය කරද්දී ස්භාදහම විසින් පුද්ගලයෙකුට උරුම කරන දෑ ද ඇත. කඳුළු වැගිරීම හෝ හඬා වැටීම යන්න මේ ලෝකයේ වේදනාවන්ට කාරණයන් වග ඔබ දන්නවා ඇත. එහෙත් ප්‍රසුතිගාරයෙන් එලිබට දරුවා හඬනවා දැයි දකින්නටත් එකී හඬන දරුවාගේ කඳුළු දැක සතුටු කඳුළු වගුරවන්නටත්, හේතුව ඔබ දන්නවා ඇතැයි යන්න සිතමි.

ස්භාදහම විසින් බිහිකළ කිසිදු දෙයක අඩුපාඩු නොතිබිණි. ඒවා ස්භාදහමට අනුගත විය හැකි සේ පිරුණු දෑ විණි. බොල් වූ දෑ ස්භාදහම බිහි කළේ නැත. එහෙත් ස්භාදහමට ද අත්වැරදී සිදු වී ඇතැයි යන වග පාර දිගේ දුවන, මහා පොළවේ බඩගාන මා හට ඇතැම් මනුලතැවුල් මත කිඳා බසිද්දී නොදැනුනාම නොවේ ය. එහෙත් ඒ කිසිවෙකු ස්භාදහම උරුමකරදුන් දෑ වෙනුවෙන් හඬා වැලපුනේ නැත. ඔවුන් තම දුර්වල සන්ධිස්ථාන මතින් හුස්ම අදින ජීවිතයේ කිසිදු තැනකදී ස්භාදහම ඔවුන්ට උරුම කර දුන් කර්මය කෙරේ වෛර බැඳ ගත්තේ ද නැත. ඔවුන් තමන්ට ලැබුණු සහ උරුම වූ ජීවිතයට ආදරය කළෝ ය. මේ කතාන්දරය දිග හැරෙන්නේ ඒ ආශ්‍රයෙන් උරුම වූ කර්මය මහා පොළව මතදී වෙනස් කරගත් හා ජීවිතයේ සාර්ථකත්වය හඹා ගිය අපේ කාලයේ වීරයෙකු පිලිබඳවය. 
මලිත් තම වැඩ කටයුතු සිදු කරන ආකාරය 

ප්‍රථමයෙන් මා හට ඔහුව හමුවීමට බොහෝ දුර ගෙවන්නටත්, බස් හන්දි කඩපිල් වලින් හා ටයිකෝට් කාරයන්ගෙන් පවා විමසන්නටත් සිදු වූ බව කිව යුතුමය. ඔහුව හමුවීම එතරම්ම අසීරු විය. එහෙත් ඔහුගේත් මගේත් හමුවීම තුළින් එකී අසීරුතා හා ඒ ආශ්‍රයෙන් මා තුළ උපන් තෙහෙට්ටුව හිරු දුටු පිණි බිඳක් මෙන් වියැකී ගියේය.

දිවුලපිටිය භූමිය කොටගෙන උපන් ඔහු උපතින්ම අන්ධයෙකි. තිලකරත්න බාස් උන්නැහැගේ කුඩා පුතු වූ හේ එතෙකුදු මෙතෙකුදු හිරුගේ ප්‍රභාතයේ ආලෝකය දැක නැත. එහෙත් ඔහුගේ ස්නායු උදෑසන සීතලත්, දහවල ගිණියමත්, සන්ද්‍යායාමයේ සෞම්‍යයත්වයත් ගැන දෑස් පෙනෙන මට වඩා දත් අයෙකු වග කිව යුතුමය. ඔහුගේ විඤ්ඤාණ ශක්තිය මේ අකුරු දිග හැරෙන මා යන පුද්ගලයාට වඩා ත්වුර වග කිව යුතුමය.

“සහෝදරයා, නම මොකක්ද..”

පූර්ව හඳුන්වා දීමකින් අනතුරුව මා ඔහුගෙන් ඇසු පළමු ප්‍රශ්නය එය විය. මගේ පැමිණීමට ඔහුත් ඔහුගේ පවුලේ අයවළුන් විසිනුත් උණුසුම් පිළිගැනීමක් එකතු කළෝ ය. මා ඔහුට සහෝදරයා යැයි කීවේ, ඔවුන් තුළ තිබුණු මනුස්සකම විඳීමකොටගත් මා තුළින් ඔහු උපයාගත් හද සිතුවිල්ල එසේ ආමන්ත්‍රණය කරන්නැයි අයැද සිටි නිසාවෙනි. එය මා වැනි පත්තකාරයෙකු අතින් සිදු වූ වරදකැයි මා නොසිතමි.

“මම මලිත්”

හේ මලිත් ය. හේ මලිත් වුව, මලිත්ට තලද්දී හඬන චංචලා ලා හිටියේ නැත. චංචලා ලා මලිත් දෙස බැලුව ද මලිත් චංචලා ලා දකින්නට පිං කර තිබුනේ ද නැත. මේ ලක්දිව සුරකින තිස්තුන් කෝටියක් දෙවියන්ට පවා මලිත්ට අකුල් හෙලා තිබිණි. දෙවිවරු හිටියේ මොණරු රඟන සාක්කු වල ය. තිලකරත්න බාස් උන්නැහැලා වැනි මජං කිට තුළ රුපියලේ කාසි අතරට දෙවිවරු වැඩියේ නැත. දෙපයින් ආවේ ගියේ නැත.

“ඉතිං මේ මලිත්ට තියෙනවා විශේෂ හැකියාවක්.. මම මෙතැන ඉන්නේ ඒ හැකියාව හින්දයි.. මලිත් කොහොමද මෙච්චර දෙයක් කරන්නේ.. අනික ඔය වගේ තත්ත්වයක ඉඳගෙන.. මොකක්ද මලිත් ඒ හැකියාව ?.. ”
“ මට පුළුවන් ඕනේ වාහනයක් හදන්න.. මම මුලින්ම වාහනයක් හදන්නේ අවුරුදු අටෙන්.. ඉස්සර වෙලාම වාහනයකට කියලා ගැලෙව්වේ මයිනර් කාර් එහෙක රේඩියේටර් එකක්.. මගේ තාත්තා තමයි මට හැමදේම පුරුදු කළේ”

මා ඒ අපූරු බැඳීම දෙස බැලුවෙමි. තිලකරත්න බාස් උන්නැහැ දැන් සිටින්නේ තම ජීවිතයේ සැදෑ කාලය ගෙවමින් ය. හාන්සි පුටුවකට ඇලවුණු හෙතෙම ඈත අනන්තයේ නෙත දල්වාගෙන කල්පනා බරිතව සිටියි. ඔහුගේ රැළි වැටුණු, සුදු රැවුල් ගස් පිරුණු මුහුණේ සිනා රැල්ලකි. ඒ ආඩම්බරය තම දරුවා ගැන විය යුතුය. ඒ අහිංසක ආඩම්බරය තනිව විඳින ආදරණීය පියාණන් දෙසට හැරුණු මා පිය පුතු බැඳීම හාරා අවුස්සන්නට වූයෙමි.

“වාහනයක් හදනවා කියන එක, වාහනයක් ගලවනවා කියන එක ඇත්තටම අභියෝගයක්.. ඒ අභියෝගය තමන්ගේ පුතා වෙච්ච මලිත්ට හුරුකරවද්දී සෑහෙන්න අසීරු වෙන්න ඇති..”
“මම වැඩ කරද්දී එයා මගේ ළඟින්ම හිටියා.. එයා යතුරු අල්ලලා බලනවා.. ඒවාගෙන් මොන මොනවාහරි කරන්න බලනවා.. එයාට උවමනාව තිබුණා වාහන හදන්න.. ඒ උවමනාවට මිසක්, මට එයාට ඒ ගැන අමුතුවෙන් කියා දෙන්න ඕනෙකමක් තිබ්බේ නැහැ. එයා හරි ඉක්මනට හැමදේම අල්ලා ගත්තා.. මම එයාට කරන්න නොදුන්නේ වයරීන් වැඩ විතරයි.. මොකද ඒක බයානකයි.. කරන්ට් එකත් එක්කයි සෙල්ලම් කරන්න තියෙන්නේ..”

මලිත් දක්ෂයන් අතර දක්ෂයෙකු යැයි කියන්නට උවමනා නැත. හේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙකි. ඔහු දක්ෂයෙකු නොවන්නට දෑස් පෙනෙන එවුන්ගේ පණ අදින වාහනයක් අඳ දෙනෙත් හිමි ඔහුගේ අතින් පණ ලබන්නේ නැත. එහෙයින් ඔහුගේ හැකියාව නැවත නැවතත් පුනර්වාචනය කරන්නට දෙයක් නොවේ ය.

“ මලිත්, මොනවද හදන වාහන.. වැඩියෙන්ම පණ දෙන්න ලැබෙන්නේ මොන වගේ වාහන වලට ද.. මලිත් දන්නවා මේ ක්ෂේත්‍රය ගත්තාම ටිකක් බැරෑරුම්.. දැන් තියෙන වාහන හදන එක ලේසි නැහැ.. විෂය ඇතුළේ පරිපූර්ණ මිනිස්සුන්ට පවා වරදිනවා.. කිසිම දවසකදී වැරදීම් වෙලා නැත්ද..?”
“නැහැ, වැරදුනු තැන්නම් මතකයේ නැති තරම්.. හයිබ්‍රිඩ් වාහන හදන එක අමාරුයි.. ස්කෑනින් වගේ දේවල් කරන්න මට අමාරුයි.. ප්‍රෝග්‍රෑම් කරපු වාහන හදන්න දැනුම මදි.. ඒ ඇරෙන්න, ඩිෆෙන්ඩර් පවා මම ගලවලා තියෙනවා.. මැනුවල් යතුරෙන් ගලවලා ඕනේ වාහනයක ලෙඩක් හොයාගෙන වාහනය හදන්න පුළුවන්.. ගොඩක් වෙලාවට ලැබෙන්නේ ත්‍රි වීල් වගේ එව්වා.. තව ලැබෙනවා රෑට එයාපෝට් යන වාහන, ගොඩක්ම හදලා තියෙන්නේ එහෙම වාහන.. මේ පාරේ සෑහෙන්නට එහෙම වාහන අතරමන් වෙනවා.. අපලයක් ද මන්දා.. සෑහෙන්න මට ලැබිලා තියෙන්නේ එයාපෝට් යනකොට අතරමන් වෙච්ච වාහන තමයි..”

මලිත් සිනාසෙමින් පවසන්නට විය. ඔහුගේ අව්‍යාජ සිනහව තුළින් නොපිපෙන කුසුම් ද පිපෙනවා ඇතැයි සිතිණි. රාත්‍රියේ මහා මඟ දෝෂ සහිතව අතරමන් වන වාහනකයට පණ පොවන   දෙනෙත් අහිමි ඔහු එහි සිටින අයවලුන්ට  ඉෂ්ට දෙවියෙකු වනවා නොවනුමානය. ඔහුට දහවල රාත්‍රිය කියා වෙනසක් නැත. කාලයේ කුමන අවස්ථාවක් වුව එක සමානය ය. විදුලි පන්දම් ගසාගෙන, කළුවරයි සීතලයි කියා කම්මැලිකමේ ගුලි වී නිදා ගන්නා ගතිය ඔහු තුළ නැත. ඔහුට අහිමි වූයේ එකකි. එහෙත් ඔහුට අනෙක් සෑම සංවේදනයක් ම උරුමව තිබිණි.

“මලිත් හොඳ ගිටාර් ප්ලේයර් කෙනෙක් වගේ”

මා ඔහුගේ බේස් ගිටාරයක් වයමින් සිටින පින්තූරයක් දෙස බලමින් ඇසුවෙමි.

“ ම්ම්ම්ම්.. ඔව්.. මම බේස් ගිටාර් ගහනවා.. අපේ බෑන්ඩ් එකක් තියෙනවා..”
“ කී දෙනෙක් ඉන්නවද..?”

“ අපි වගේම හය දෙනෙක් ඉන්නවා..”
“ ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද.. මලිත් පුරුදු වුණේ කවුරු යටතේ ද.. බේස් ගිටාර් ගහනවා කියන ලේසි නැහැ නේ මලිත්..”

“ තනියමමයි පුරුදු වුණේ.. ප්‍රැක්ටිස් කරන්නේ නම් බඩු රෙන්ට් එකට අරගෙන.. නැත්නම් කාගෙන් හරි ඉල්ලාගෙන.. ඇත්තටම අපිට instrument  නැහැ..”
“ ගිටාර් කරන කෙනෙක්, මුලින්ම එන්නේ බොක්ස් ගිටාර් එහෙකින්.. ඒත් එකපාරටම බේස් ගිටාර් එහෙකට හුරු වුණේ කොහොමද?”

“අමාරු නැහැ සඳරු, මම ආස කලේ බේස් ගිටාර් වලට.. අතට හුරු වුණාම ඔය කොයි දෙයත් උවමනාව තියෙනවා නම් හරි ලේසියි..”
“මලිත්ලා වගේ මිනිස්සු හරි අඩුයි..”

මා එසේ කීවේ සැබෑවටම ය. එසේ කීවා නොව පිටවුණා විය යුතුය. එහෙත් එය වරදක් නොවේ ය. මලිත් ලා වැනි උත්සාහයෙන් ධෛර්යෙන් පරිපූර්ණ වූ මිනිසුන් දෙපා ගෙවෙන තුරු ඇවිදින මා වැනි පත්තරකාරයින් දකිනවා අල්පය. මා මලිත් ලා දකින්නේ මෙලෙස නොවේ ය. තම අසරණකම වාණිජමය පරමාර්ථ වලට උඩගෙඩි දෙන්නටත්, තම අහිමිවීම තුළින් මානුෂීය හැඟීම් උලුප්පන්නට රසවත් කතා ගොතමින් සිඟාවේ යන්නටත්, ඔවුන් හුරු වී තිබිණි. සැබෑවටම ඔවුන් තම අසරණකම වෙළඳ ප්‍රවර්ධක භාණ්ඩයක් කොටගෙන තිබිණි. එහෙයින් මලිත්ලා යන්න මා දුරු වීරත්වයක් යැයි කිව යුතුමය. මා මලිත්ගෙන් ඒ ගැන අසන්නට ද පසුබට නොවිණි.
“මලිත්ට උත්සාහය තියෙනවා, උවමනාව තියෙනව. ඒ තුළින් මලිත් සෑහෙන දේවල් දිනාගෙන තියෙනවා ඇස් පෙනෙන අපිට වඩා.. මලිත් මට කියපු විදියට සමාජයේ ඇවිදින, ජීවත්වෙන චරිතයක්.. ඉතිං මලිත්ට මුණ ගැහෙනවා ඇති මලිත් වගේම මිනිස්සු.. එයාලා ගැන මොනවද හිතෙන්නේ..”

මලිත් නැවත වතාවක් සිනාසෙනවා දිටිමි. ඒ සිනහව නම් ඔහු විසින් ඔහු වැනිම එවුන්ට දමා ගැසූ අවඥාසහගත සිනහවකි.
“ සඳරු, ඇත්තම කියන්නද මම ඒ මිනිස්සු එක්ක තරහයි.. මම බනිනවා.. මට මුණ ගැහෙනවා බස් වලදී.. මම ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට බනිනවා.. මොකක්ද ඔය කරන විකාර වැඩේ අහනවා.. මිනිස්සුන්ට දෙයක් අහිමි වෙන්න පුළුවන් සඳරු.. ඒත්, මිනිස්සු ඒ අහිමිවීම විකුණාගෙන කන එක අනුමත කරන්න බැහැ..”

ඔහුගේ ශක්තිමත් වචන වලට එරෙහිව නැගී සිටින්නට බැරිය. ඔහු තුළ ඇති සත්‍යවාදීබාවය කිසිවකට ලඝු කරන්නට ද බැරිය. සැබෑවටම මලිත්ලා මේ භූමිය තුළ ඉපැදීම පිලිබඳව භූමිය පවා ආඩම්බරෙයෙන් පසුවනවා ඇත.

“ ඉතිං මලිත්, සමාජයේ ඇවිදිනකොට පාරවල් දිගේ යනකොට ඇස් පෙනෙන මිනිස්සු නොපෙනෙන මලිත්ලට සලකන්නේ කොහොමද?”

“ ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. සමහර මිනිස්සු කහ ඉරෙන් මාරු වෙනකොට හැරමිටියට පයින් ගහන අවස්ථා තියෙනවා සඳරු.. සමහර මිනිස්සු ඉන්නවා, රිදෙන කතා කියනවා.. දවසක් එක මනුස්සයෙක්ගෙන් මම පාරක් අහද්දී කිව්වා ඉස්සරහට ගිහිං වමට හැරිලා යන්න ලු.. අපිට යන්න පෙනෙනවා නම් අහන්නේ නැහැනේ සඳරු.. හැබැයි ගොඩක් වෙලාවට සිංහල මිනිස්සුන්ට වඩා දෙමළ මුස්ලිම් මිනිස්සු උදව් කරපු අවස්ථා වැඩියි.. මොන හේතුව ද මන්දා ඒ මිනිස්සු කියපු ගමන් පැනලා උදව් කරනවා..”

මනුස්සකම් වල් වැදී ඇති බව දනිමි. එහෙත් මෙතරම් මනුස්සකම වටා වන මුර්ග ගති වෙලාගෙන ඇති වග නොදැන සිටියෙමි. ඔහුගේ වදන් තුළට මුහුකොට අප වෙත දමා ගැසූ වේදනාව නිසා මා වේගයෙන් හුස්මක් ඇද ගතිමි. මා හා මලිත් අතර හමුවීම ඇතිකළ මගේ මිතුරියගේ දෙනෙත් දිලිසෙනයුරු දිටිමි. ඒ තරමට ඒ වදන් තුළ වේදනාවකි. අසරණකමකි. ඔහුගේ පපුවෙන් පිටවෙන සුසුම් වල තිබුනේ නොමිනිස්කම් නිසා ඔහු විඳි අනන්තාපරිපන්න වූ වේදනාවයි.
ඔහු ඉපැදී සිව් වසරකින් තම මව කළුරිය කළ බවත්, මවගේ සෙනෙහස අහිමිවී ගිය සැටිත් ඉන් පසුව තම පියා ගැහැණු දරුවන් තිදෙනෙකු හා ඔහුව ද රැකගෙන ජීවිතය එලිපෙහෙළි කර ගැනීම පවා ඔවුන්ගේ ජීවිත වල ඇති උත්සාහය හා ධෛර්යය පිළිබඳව සාක්ෂි සපයයි.
දෑස් පෙනෙන එවුන් ද බාලයන් සේ මහා පොළවට බරක්ව ජීවත්වන කලියුග කාලයක සිටින අප දෑස් අඳ මලිත්ලාගේ ශක්තිය පිළිබඳව ඇගයීමක් කළ යුතුය.

“සඳරු, පුළුවන්නම් අපිට බෑන්ඩ් එක කරන්න උපකරණ ටිකක් හොයා දෙන්න.. හරි වටිනවා ඒක.. අපිට උදව් කරන්න කවුරුත්ම නැහැ..”

මලිත් යනු දක්ෂයින් අතර දක්ෂයෙකි. එවැනි දක්ෂයෙකු මුළුගැන්වී සිටිය යුතු නැත. ඔවුන් මේ සමාජයේ ඉදිරියට ගැනීමට දෑස් පෙනෙන එවුන් කණවැල් ඇල්ලිය යුතුය.
මලිත්ලාට හතුරුකම් කරන සමාජයට කශේරුකාවක් ඇතැයි යන්න මා නොසිතමි. එහෙත් මලිත්ලා ඇදගෙන වැටෙන්නේ නැත. දනිපනි ගාගෙන හරි නැගිටිනවා ය. මලිත්ගේ ජීවිතයේ එක් එක් ආස්ථානයන් තුළ ඔහු තනිව උදාකරගත් ජයග්‍රහණ පිළිබඳව සැළකීමේ දී  මලිත්ලාට ඇති ධෛර්ය සහ උත්සාහය මේ ලෝකයේ දෑස් පෙනෙන එවුන්ට ද තිබුණා නම් මෙය පාරාදීසයක් වනවා නොවනුමානය. එහෙත් වන වැදුනේ මිනිස්කම් ය. තුන්වන ලෝකයේ රටක් ලෙස අප ජීවත්වන්නේ ද දෑස් පෙනෙන එවුන්ගේ  ලේ ධාතුවක පවා ඇති කම්මැලිකම නිසා නොවේ දැයි මා ආපසු හැරුණෙමි.

- සඳරු දසනායක 

4 comments: