Sunday, July 1, 2018

“මහත්තයා, මම දන්නා තැනක් තියෙනවා.. ෆුල් සේෆ්ටි.. පොලිස්සියෙන් පනින්නේත් නැහැ.. ගානත් අඩුයි”


ඇතුගල් පුරවයේ බුදු පිළිමය තේජාන්විත ය. එහි නේත්‍රා බැලුම් කුරුණෑගල නගරයට සෑම දිනකම ගෙන ආවේ ආශිර්වාදයකි. පහල නරගයේ ජනයා එකී පිළිමය දෙස බලා සෑම විටෙකම පහන් සිතුවිලි වලින් හදවත ඒකාලෝක කර ගනියි. කෙලෙස්වලින් පිරුණු මුග්ධ බවට සීනී බෝල සාරුවා ගාමින් විඳිය යුතු ජීවිතය විඳවමින් ගෙන යන මිනිසුන් එකී ඇතුගල මත ගොඩ නැගුනු එකී පිළිමය යට මල් පහන් තබමින් ජීවිතයේ අනිත්‍යය බව තේරුම් ගන්නට උත්සාහ කරනවා ය. පහළ ඇත්කඳ වෙහෙරින් නැගෙන බුද්ධ වචනයේ හඬ ගුවන් තලය පුරා අරක් ගෙන ඇත. දේව ගීතිකා වයමින් සාමයත් ප්‍රේමයේත් පණිවිඩය බෙදන ඇතුගල පාමුල ඇති කිතුණු පල්ලිය මනුක්ෂත්වය උගන්වමින් සිටියි.


අප දන්නා කාලයේ සිට කුරුණෑගල යන්න මනුක්ෂත්වයේ නවාතැන් පොළකි. මානුෂීය මිනිසුන් බිහි කළ, එකිනෙකා තුළ සිනහව වර්ධනය කරමින් ප්‍රීතියෙන් මිනිසුන් නිදහසේ එහා මෙහා ගිය තැනකි. එහෙත් අද එහි තත්ත්වය වෙනස් ය. කුරුණෑගල දැන් මුරකාවල් දැමු බළකොටුවක් පරිද්දෙනි. එහෙත් ඒ බළකොටුව තුළම අමානුෂික ගති පැවතුම් ඇති කාලකන්ණි අධම රැළක් රැකවල්ලාගෙන සිටියි.

මේ ලෝකයේ මිනිසෙකුගේ හදවතක් සතු වටිනාම දෙය කුමක්දැයි ඇසුවෝතින් බහුතරයකගේ ආදරණීම වස්තුව වන්නේ තම හදවත දැන හැඳින ගත් ආදරයයි. ආදරය තරම් මේ ලෝකයේ මිනිසුන්ට වටිනාකම් කියා දුන් සහ ලෝබකම් ඇති කළ දෙයක් තවත් නැතැයි සිතමි. කුරුණෑගල තරුණ තරුණියන්ට ද එය එසේමය. ඇතුගල්පුරය අලලා ප්‍රේමයේ වගතුග කියාපාමින් සාහිත්‍යය තුළට පවා ප්‍රේමණීය නිර්මාණ කිඳා බසින්නේ ඒ නිසාවෙනි. ඇත්කඳ වෙහෙර, ඇතුගල්පුර බුදු පිළිමය, රන් තාලිය වැව හා වැව රවුම යන්න පෙම්වතුන්ගේ එදාමෙදාතුර නවාතැන් පොළවල් ය. ඒවායේ පෙම්වතුන්ගේ සිනා හඬ අඩුවක් නැත. ඔවුන්ගේ මෘදු තෙපුල් හඬ එකී භූමි තුළ නිහඬ බව බිඳිමින් ඇත. ප්‍රේමණීය හාදු වලින් පිටවන නුරා හැඟීම් හොරැහින් ද විලියෙන් ද භූමියේ තුරු ලතා දුටුව ද සෑම විටකම ප්‍රේමණීය හදවත් වල ස්භාදහමේ ආශිර්වාදය ලැබෙමින් පවතී.

එහෙත් මොකක්දෝ ශාපයක් ඇතුගල්පුරයට වැදී ඇත. එය ඇතුගල්පුර බුද්ධ පිළිමයේ ආශිර්වාදයට වඩා බලසම්පන්න වී ඇත්තේ කෙසේදැයි මා නොදනිමි. කුරුණෑගල දඩබල්ලන් දම්වැල් කඩාගෙන අඳුරු ආත්මයන් සමඟ එක්කාසු වී ඇත. ඔවුන්ගේ පාදඩකම් හස්ති ශෛල පුරයේ නිදහසේ ඉගිලෙන කුරුළු ජෝඩු වලට බාදා කරමින් සිටියි.

දැන් වෙනදා වාගේ ඇතුගල තරණය කරන්නට පෙම්වතුන්ට නොහැකිය. නෙලුම් මල් දෙයතේ පුරවාගෙන මෘදු තෙපුල් කතා කියා අවට භූමියේ නිහඬත්වය බිඳිමින් ඇතුගල තරණය කරන්නට පෙම්වතුන් බියය. ඇතුගලට පිවිසෙන දොරටුවට කිසිදා නොදුටු ලෙස පොලිස් ආරක්ෂාව වැටී ඇත. පොලිස්සියේ මුරකාවල් තුළින් ඇතුළුවන ඇතුගල් පුරවරය ගැන නොදන්නා පෙම්වතුන්ට ලැබෙන්නේ උපදෙස් තොගයකි. ඔවුන්ගේ වචන වල ඇත්තේ තිරිසන් වෙස් ගත් නරුමයින් ගැන කියවෙන කතාන්දරයකි.

“.. පුතේ උඹලා ගියාට කමක් නැහැ පරෙස්සමට.. උඹලා ඔය යන පාරේ තිරිසන් මිනිස්සු වගයක් ඉන්නවා.. අපිටවත් උන්ව තාම අල්ලා ගන්න බැරි වුණා.. දෙයියන්ගේ පිහිටෙන් ගිහිං බුදුන් වැඳලා පරෙස්සමට වරෙල්ලා..”

මෙය බුදුන්ව වඳින්නටත් ඇතුගල් පුර පෙම්වතුන්ට දෙවියන්ගේ පිහිටාරක්ශාව අවැසි මොහොතකි. මේ පිළිබඳව ඉරිදා ඇපල් පුවත්පත කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ ඇතාගල මත වැඩ වසන බුදු පිළිමය වඳින්නට යන පෙම්වතුන්ට මේ තාක් කල් සිදු වූ කරදරයන් ගැන ය. බොහෝ පෙම්වතුන් මෙහි යන්නේ එන්නේ දෙමාපියන්ට දහසක් බොරු කතාන්දර කියමින් ය. ඇතැම් පෙම්වතුන් කුරුණෑගලට පිට පළාත්වලින් පැමිණෙන අය වෙති. ඇතැමුන් නගරයට ටියුෂන් ගන්නට ආ දරුවන් ය. ඔවුන් නිදහසේ ප්‍රේම කරන්නටත් බුදුන් කෙරේ බැඳුනු ශ්‍රද්ධාවෙන් යුතුව තම ආගම සිහි කරන්නටත් ඇතුගල මත ඇති බුදු පිළිමය අසලට යාම එදාමෙදා තුර ඉතිහාසය දක්වාම විහිදෙන අතිශය සාමාන්‍යය දෙයකි.


ඇතුගල තරණය කිරීමට මාර්ග දෙකක් ඇත. එක් මාර්ගයක් වැටී ඇත්තේ ඇතුගල මධ්‍යයෙනි. එම මාර්ගය අසීරුය එමෙන්ම අනාරක්ෂිත ය. එහෙත් එය විවෘත මාර්ගයකි. ඇතුගල තරණය කරන එකෙකුට සිදුවන අකරතැබ්බයක් පිටත ජනයාට එහිදී හොඳින් දැකිය හැකිය. මෙම කතාවට සම්බන්ධ අනෙක් මාර්ගය වැටී ඇත්තේ කැලෑ රොදක් මධ්‍යයේ ය. ඒ මාර්ගයේ වාහනයකට පවා ඇතුගල මුදුනටම යා හැකි ලෙස තැනුණු කැලයෙන් ආවරණය වූ මාර්ගයකි. තුරු හිසින් සෙවණ වූත් නිසංසල බවින් පිරුණු එම මඟ බොහෝ දෙනා ඇතුගල තරණය කරන්නට යොදා ගනියි. එහි වඳුරන් හා රිලවුන් හැරුණුකොට නිශ්ශබ්ධ බව බිඳින්නට කිසිවෙකු නොමැත. ඇතැම් විට කෑ ගසන රැහැයිකුගෙන් එකී පරිසරයේ ගුප්ත බව බිඳී යයි. අඳුර හා ගිලුණු එහි කාලකන්ණි මුස්පේන්තු පෙනුමක් අද වන විට ඉපදෙමින් පවතී. මක්නිසාදයත් අද වනවිට එම මඟෙහි ඇතුගල තරණය කරන පෙම්වතුන් පීඩාවට ලක් කරන පිරිසක් බිහි වී ඇත.

පෙම්වතුන් ඒ මඟ දිගේ ඇතුගල දෙසට ඇදෙන විට මඟ දෙපස කැලයේ සැඟවී සිටින ඔවුන් පෙම්වතුන් ඉදිරියට කඩා පනියි. පසුව ඔවුන්ව වටකරගන්නා අතර ඔවුන් සතුව පවතින වටිනා කියන දෑ කොල්ලකයි. එකී කොල්ල කෑමෙන් අනතුරුව ආදරණීය පෙම්වතිය තම පෙම්වතා ඉදිරියේම සමූහ දූෂණයට ලක් කළ අවස්ථා ද තිබෙන බැව් එම මඟ මුරකාවල් දමාගෙන සිටින පොලිස් නිලධාරින් අප සමඟ පැවසීය. මෙම සිදුවීම් කිසිදු මාධ්‍යයකින් හෙළි නොකළ දෑ වන අතර පොලිස් නිළධාරීන්ට පවා මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න හරියාකාරව වැටහීමක් නොමැත. මක්නිසාදයත් මෙවැනි අගතීන් වලට පත්වන පාර්ශවයන් පොලිස්සියට පැමිණිලි කිරීමට නොපැමිණෙයි. නිවසට හොර රහසේ පැමිණෙන පෙම්වතුන්ට අත්වන මෙම ඉරණම ඔවුන් ලැජ්ජාව සහ අසීමිත භිය නිසා හෙළි නොකරම අසාධාරනකම් වලට ලක්ව ජීවත්වෙයි.

මෙවැනි සිදුවීම් කිහිපවරක්ම ඇතුගල තරණය කරන පෙම්වතුන්ට සිදු වූ දේවල් ය. මෙම සිද්ධීන් පිටුපස සිටින අයවලුන් තවමත් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිස්සියට ලැබී ඇති තොරතුරු වල මදි පාඩුව නිසා අපොහොසත් වී ඇත. එහෙත් කුරුණෑගල පොලිස්සියේ නිළධාරින් මෙම භූමියේ රැකවල් දමා අහිංසකයින්ට සිදුවන අසාධාරනකම් මැඩ පැවැත්වීමේ අරමුණින් ආරක්ෂාව තර කර ඇත.

කුරුණෑගල නගරය වෙනදා වගේ නොවේ ය. එහි බිහිවෙමින් පවතින්නේ අමුතු සංස්කෘතියකි. වෙනදා වැව රවුම පෙම්වතුන්ගේ පාරාදීසයකි. දැන් එය කේරළ ගංජා වල තිප්පොළක් බවට පත් වී ඇත. ගංජා සුරුට්ටු අදින තරුණයින් එහි නිරන්තරයෙන්ම ඔවුන්ගේ අභිමතය පරිදි හැසිරෙයි. වැව රවුම තුළ සිද්ධීන් සොයා බැලු අපේ දෑසට හසු වූ සිද්ධියක් වූයේ එහි මත්ද්‍රව්‍යය වෙළඳාම ඉතා සූක්ෂමව සිදුවන බවය. කුරුණෑගල නගරයට ගොඩ වදින යුවලක් ටැක්සියකට ගොඩ වදින්නේ නම්, ඔවුන් ගොඩ වූ පළමු අවස්ථාවේම එම රියදුරා කියන සුපුරුදු කතාවක් ඇත.

“මහත්තයා, මම දන්නා තැනක් තියෙනවා.. ෆුල් සේෆ්ටි.. පොලිස්සියෙන් පනින්නේත් නැහැ.. ගානත් අඩුයි”

හස්තිශෛලපුරය වල් බිහිවෙමින් පවතී. එහි අනන්‍යයතාවය කෙළසා දමන්නට මිනිස් වෙස් ගත් තිරිසනුන් සමූහයකට හැකියාව ලැබී ඇත. නීතියේ දෑසට වැලි ගසා ඔවුන් සිදුකරන අධම ක්‍රියාවන් නිමා දකින දිනයක් පැමිණෙන තුරු ජනතා හිතවාදී මාධ්‍යයක් ලෙස අප නිරතුරුවම දෑස් දල්වාගෙන බලා සිටින්නෙමු.

ඡායාරූප සඳහා ස්තූතිය :- ටිරාන් අඹේගොඩ 

- සඳරු දසනායක 

0 comments:

Post a Comment