Tuesday, April 30, 2019

වසර නමයක් තිස්සේ අයිතිවාසිකම් පිළිබඳව අරගලයක යෙදෙන මුස්ලිම් කාන්තාවෝ



පිරිමියෙකු විසින් ගැහැණිය ගැන ලිවීම යම්කිසි ආකාරයක සමාජමය, සංස්කෘතිකමය හා ලිංගිකමය සීමාවන් අතික්‍රමණය කිරීමකැයි සිතමි. එය තවත් විදියකින්  භාෂණය හා ප්‍රකාශනය සීමාකාරී කොට අයිතිවාසිකම් මහා දවාලේ කොල්ලකමින් පවතින භූමියක නොකළ යුතු දෙයකි. එහෙත් නොකළ යුතු දෙය සිදු කිරීමේ හිතුවක්කාරී පුරුද්දෙන් එපිටට පැනිය නොහැක. මෙම සටහන තුළ දිගෑරෙන අදහස් වලටද එකිනෙකට නොගැළපෙන සිතුවිලි වලින් බැටකන මිනිසුන්ට තම තමන්ගේ ලේබල් ඇලවීම නිදහසේ සිදු කරන්නට ඉඩ දී මේ සටහන තබා මා නික්ම යමි. 


මේ ආසියාතික ගැහැණිය ගැනය. ආසියාතික ගැහැණිය ගැන කතා කිරීමේදී එයින් එහා ජීවත්ව හිඳින ගැහැණිය ගැන මා දත යුතුය. එකී ගැහැණිය ගැන මුල් හුරුව ලැබෙන්නේ අදින් වසර කිහිපයකට ඉහත දී මගේ පෑනේ මිතුරියක වන ෆොරිනාගෙනි. ඈ කැනඩාවේ ය. අනෙක් ගැහැණිය නම් උතුරු කොරියාවේ පදිංචි මිතුරියක වන සුන්මි උන්මිගෙනි. 

මේ දෙයාකාරි චරිත ඇසුරින් මා ගැහැණිය දුටුවෙමි. මා ඔවුන්ගෙන් උපුටා ගන්නේ ආසියාතික ගැහැණියත් ඔවුනුත් විඳින්නා වූ නිදහසට ඇති සීමාවන් ගැනය. එය පසුකලෙක මගේ වපසරිය තුළ ජීවත් වන ගැහැණුන් එක එල්ලයේ ප්‍රශ්න කරන්නට තරම් ප්‍රබල විය. එසේ ප්‍රශ්න කළ මා "ගැහැණිය යන චරිතය ඔවුන් විසින්ම නැවත අරගලයක් කොට හෝ වඩා නිවැරදි නිර්වචනයක් ඔවුන් වෙනුවෙන්ම සකසා ගත යුතු බව" ඒත්තු ගන්වන්නට විණි. 

බෙදුම්වාදය ආසියාව තුළ පොහොසත් ය. බෙදුම්වාදයට නිදහසේ මෙහි ඉගිලෙන්නට නිදහස ඇත. බෙදුම්වාදී චරිත මෙහි වීරයින් බවට පත් වේ. එහෙත් ආසියාවෙන් එහා ඇති ලෝකය තුළ බෙදුම්වාදය හෝ බෙදුම්වාදය මත ඇති සංකල්ප විහිළුවක් පමණි. මනුක්ෂත්වය ඒ ඒ භූමියේ දී මුල් කොට සලකන අතර එයින් එහා යන බෙදුම්වාදයෙන් උපදින එවුන්ව සරමේ පිහ දැමිය යුතුය යන වග ඔවුන්ගේ අභිමතය වී ඇත. 

ඉඳින් මේ භූමියේ එවුන්ටනම් බෙදෙන්නට දෑ ඕනෑවටත් වැඩිය. ජාතික වශයෙන් ඔවුන් බෙදී වෙන්ව ගොසිණි. ආගමික වශයෙන් ඔවුන් බෙදී ගොසිණි. දේශපාලනමය වශයෙන් බෙදී ගොසිණි. ජාතිකමය වශයෙන් බෙදී ගිය එවුන් කුලමය වශයෙන් බෙදී ගොස් ය. ඒ අතරතුර ඇති නැති පරතරය ඔවුනොවුන් බෙදාවෙන්කොට ඇත. බුද්ධි මට්ටම මත බෙදී ගොසිණි. ගම හා නගරය අතර බෙදීමක් ඇත. සුනඛයින් තම සීමා සලකුණු කරගන්නාක් මේ සුනඛ ගති පිහිටන එවුන් පළාත් හා ප්‍රදේශ වලට අනුකූලව බෙදීම් වලට ලක් වී ඇත. එහෙයින් මෙය බෙදෙන භූමියකි. මේ මහාද්වීපය පුරාවමට ඇත්තේ බෙදීම තුළ ලේ හලා ගැනීමකි. 

අප දූපත්වාසීන් ය. එය මා විසින් සිදුකරන නම් කිරීමක් නොව ලෝකයේ මිනිසුන් විසින් අපට හිමි කර දුන් තැනය. මේ රාජ්‍යය තුළ මම මහා ජාතියේ එකෙකි. මම මහා ජාතියේ වීම තුළත්, මම මහා ජාතියේ ප්‍රධානතම ආගමේ සාමාජිකත්වය දැරීම හේතුව නිසාත්, කුල ප්‍රවේණිගතව මට උපතේදී හිමි වූ ස්ථානය තුළ පවතින බලසම්පන්න බව නිසාත් මා යම් හෙයකින් මගේ ජීවිතය ආරක්ෂා කොට ගතිමි. ඒ ආරක්ෂාව විඳින මම සුළු ජාතියේ මගේ මිත්‍රයින් විඳින වේදනාව දුටුවෙමි. දැකිය යුතු දෙය ද - නොදැකිය යුතු දෙය ද දැකීම තුළ මා මගේ ජාතියේ ඇති බියගුළුකම දුටිමි. මගේ ජාතිය ආරුඩ කරගත් වීරත්වයේ ඇති විලාසයන් දිටිමි. එය හාස්‍යයෙන් දකින්නට මා පුරුදු වූයෙමි. මගේ සාමාජීය  තැනුම් ඒකකය ආදරයයි. ඉඳින් ආදරයට වඩා අනෙක් කිසි දෙයක් විශාල නොවිණි. තව දුරටත් ඊට වඩා විශාල දෙයක් මට හමුවී නැත. 

මහා ජාතියක පිරිමියෙකු වීම, මහා ජාතියක හොඳම තැන ලැබූ උප්පත්තිය තුළ මා වටා පරිසරයේ ඇති බෙදුම්වාදය දෙස මා බලාසිටින්නේ පුදුමයෙනි.

මුල් ජාතියක මහා පුරුකක්වීම මට ආඩම්බරයක් නැත. මට ඇත්තේ ජාතියක පුරුකක්ව අනෙක් ජාතින් විඳින වේදනාවන් ගැන කතා කිරීමට බැරිකම ගැන දැනෙන ලැජ්ජාව හා වේදනාවයි. මේ සෑම දෙයක්ම ලියවෙන්නේ එකී ලැජ්ජාවත් වේදනාවත් පිරිමසා ගැනීමේ  අරමුණින් යුතුවය. 

මහා ජාතියක වගකීම සුළු ජාතියක් රැක බලා ගැනීමය. එහෙත් අති බහුතරය සෑම විටෙකම ක්‍රියා කරන්නේ මහා ජාතියක් ලෙස සුළු ජාතියේ අයිතිවාසිකම් ලොප් කිරීමත් ඔවුන්ගේ මනුක්ෂත්වයට හානි කිරීමත් ඔවුන්ව දුර්වලයන් ලෙස සළකා තව දුරටත් දුර්වලයන් කිරීමය. 

දැන් මා මාතෘකාවට එබෙමි. ඒ ගැහැණිය ගැන ය. ගැහැණිය ගැන කියන්නට මෙතරම් දීර්ඝව සටහනක් තබන්නේ මහා ජාතියේ එකෙකු ලෙස මගේ වර්ගය බිහිකරන ගැහැණියට ඇති ස්ථානය පිළිබඳව යම් හේතුක දෙයක් කීමට ය. 

මගේ ජාතියේ ගැහැණිය ද අනුකම්පාව උත්පාදනය කරන දුර්වල සමාජ චරිතයකි. "ගෑණුනේ" ඒ පිරිමින්ගේ කතාවකි. පිරිමින්ගේ කට ගැස්මට හොඳම බයිට් එක ගැහැණිය වන ආකාරය මා දකිමි. 
පිරිමියෙකුගේ ආශ්‍රය නොමැති තැන කාන්තාව සංධාරක ගුණයෙන් දුර්වලව ඕපපාතික ගති ලක්ෂණ පෙන්වන සැටි මා දකිමි. පිරිමියාගේ අධිපත්‍යය තුළ ගොදුරක්ව ජීවත්වන ගැහැණිය මුව දෙනක විලෙස පවුලක් රක්ෂා කරන ආකාරය දකිමි. තවමත් මේ භූමිය මත ගැහැණිය යන්න දරුවන් හදන මැෂිමකි. වලං හෝදන වැඩකාරියකි. 
ආධ්‍යාත්මික ගුණ සුවඳ වගාකොට ගැන්මට ගැහැණියට ඇති අයිතිය ලොප්වන තැන් දකිමි. ලිංගික සොරකමේ යෙදෙන පිරිමින් අප්පුහාමිලා වන අයුරුත් ගැහැණිය අවලමේ යන වෙසියන් වන අයුරුත් මා දෑසට දකිමි. 
මහා ජාතියේ ගැහැණියටවත් මේ භූමියේ අයිතිවාසිකම් සැපිරෙන්නේ නැත. එහෙත් මහා ජාතියේ ගැහැණුන් අයිතිවාසිකම් ගැන කතා කරයි. ඒ ඔවුන්ගේ බීමත්කම මුදුන් පමුණුවා ගැනීමට ය. ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් තුළ ඇත්තේ "අපිටත් බොන්න දියව්" යනාදී සටන් පාඨ ය. 
මහා ජාතියේ ගැහැණුන් එසේවන විට සුළු ජාතියේ ගැහැණියට සිදුවන අසාධාරණය කොතරම් දැයි කිසිවකු නොදනී. මන්ද අප මහා ජාතියක් ලෙස සුළු ජාතිකයින් ගැන වගේ වගක් නැති ජාතියකි. අප සුළු ජාතින් සමඟ ක්‍රියා කරන්නේ ඔවුන් අවුළුවාගෙන යුධමය ආකල්ප මුදුන් පමුණුවා ගැනීමට ය. එයින් පරිබාහිරව අප කිසිදු දිනක ඔවුන් ජීවත්වන ක්‍රමය ගැන කතා නොකරන්නෙමු. 

දෙමාපියන්ගේ බලපෑම් හමුවේ බාල වියේ බලහත්කාර විවාහයකට ගොදුරුව, සැමියාගේ වධ බන්ධන හමුවේ දරු ගැබ ද අහිමි වූ ශ්‍රී ලංකාවේ මුස්ලිම් දැරිය පිළිබඳව මෙය කියවන ඔබ දන්නවා දැයි නොදනිමි. එහෙත් අප සේයා ඝාතනය වූ තැනේදී මාස ගණනක් තිස්සේ ඒ පිළිබඳව කතා බස් කළෙමු. අප වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන තුරු දෑස් දල්වා බලා සිටියෙමු. එයින් පරිබාහිරව ඉරණවිල දරුවා අපයෝජනය කොට මරා දැමීමේ ගැටළුව පිළිබඳව ද අප දෑස් දල්වා බලා සිටියෙමු. 

මුසල්මානු ජන සමාජය තුළ ඔවුනොවුන් විඳින දුක් පීඩා හෝ දමිළ සමාජය තුළ ඔවුන් පත්වන දුක් පීඩා අප මහා ලොකුවට තකන්නේ නැත. එහෙත් ඔවුන් අපට වඩා ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික පසුබිම් තුළ අසාධාරනකම් වලට ලක්වෙයි. 

බලහත්කාරයෙන් දරුවන් විවාහ කරවීම එයින් එකකි. වාර්තාවලට එක්වූ තොරතුරු වලට අනුකූලව වැඩිම බාලවයස්කාර විවාහයන් සිදුවන්නේ නැගනහිර පළාතේ ය. දෙවනුව බස්නාහිර පළාත තුළත්, තෙවනුව මා ජීවත්වන වයඹ පළාත තුළත් සිදුවෙයි. 
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය තුළින් ලීගල් කරගත් මෙම ක්‍රියාදාමය ඔවුන් සිදු කරන්නේ ආගමික තෘප්තිය තකාය. දරුවෙකුගේ ළමා කාලය ගෙවිය යුතු ආකාරය අමුතුවෙන් කිව යුතු නොවේය. දරුවෙකු යන්න කවුරුන්දැයි ඕනෑම ශිෂ්ට සමාජ ක්‍රමයක ජීවත් වන මිනිසුන් දනී. 

එහෙත් මුස්ලිම් සමාජය තුළ බාලවයස්කාර දරුවන් වැඩිහිටියන්ට විවාහ කරදී ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම පිළිබඳව අප කතා නොකළෙමු. එහෙත් මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීන් එය නොසලකා සිටියේ නැත. ඔවුන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට  තනි තනිව සටන් වැදිණි. මහා ජාතියේ උදව්වකින් තොරව ඔවුන් තනිව සිදු කළ සටනට ප්‍රථිපලයක් ලැබිණි. 

ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය විය යුතු බවය. ඒ ඇසුරින් මුස්ලිම් කාන්තාවන් පිරිමියෙකු විසින් විවාහ කරගැනීමටනම්  අවම වයස 18 සම්පූර්ණ වී තිබිය යුතු බවට ඉල්ලීම් විය. 
මෙම ඉල්ලීම් වලට සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීද් ජමාආත් යන සංවිධාන වලින් දැඩි විරෝධයක් දක්වන්නට විණි. 

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ්ගේ ප්‍රධානත්වයෙන් යුතුව මේ සඳහා කමිටුවක් පත් කෙරිණි. මෙම කමිටුව පත් කර වසර නමයක් ගත වූ තැනේදී ඉකුත් දිනෙක අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය අතට කමිටුවේ වාර්තාව ඉකුත් දා ලැබිණි. 

ඔවුන් සිදු කළ සටනට සැනසුම් සුසුමක් හෙලන්නට ලැබෙන්නේ වසර නමයකින් පසුවය. වසර නමයක් පුරාවට ඔවුන් විවිධ අවස්ථා වල, විවිධ වූ ආගමික හා සංස්කෘතිමය  තාඩන පීඩන මධ්‍යයේ ඔවුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළහ. ඔවුන් වෙනුවෙන්ම නොව ඔවුන් සටන් කළේ මතු දිනෙක මේ පොළව මත උපදින තම දරුවන් වෙනුවෙනි. එහෙත් වසර නවයක් පුරාවට ඔවුන්ගේ ඉල්ලීම් නොසකලා හරිමින් හෙම්බත් කර ඇත. 

අවසානයේ එම කමිටු වාර්තාව තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දිය යුතු වගට කරුණු සඳහන් වී තිබිණි. ඒ අනුව අවුරුදු 18ට අඩු කිසිදු කාන්තාවක විවාහ කර ගැනීමට අයිතියක් නොමැති බවත්, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය විය යුතු බවත් අවධාරණය කෙරිණි. 

වසර නවයකින් පසුව ලැබෙන මෙම කමිටු වාර්තාවේ සඳහන් කරුණු වලට ද විරෝධය පල කිරීමට ජමියතුල් උලමා සභාව පෙළඹිණි. ඔවුන් එයින් නැවතුනේ නැත, එම විරෝධය විවිධ ආගමික බලපෑම් තුළින් සිදු කරන්නට විණි. ඔවුන් කියන්නේ ඔවුන්ට බාලවයස්කාර දැරියන් විවාහ කරගන්නට ඉඩ ලැබිය යුතු බවය. 

තවමත් මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීනියන් තම සටන සිදු කරයි. ඔවුන් තම උත්සාහය තවමත් අත් හැර නැත. මහා ජාතියෙන් කිසිදු උපකාරයක් උදව්වක් නොමැතිව, ඔවුන් තනිව මෙම සටන සිදුකරගෙන යයි. එහෙත් ඔවුන්ගේ අභිප්‍රායන් ඉස්ලාම් ආගමික නීතින් තුළ ඉටුවේ දැයි යන්න සැකයකි. නබිතුමාට බාලවස්කාර දැරියක් විවාහ කරගැනීමට හැකිනම් මුස්ලිම් පිරිමින් ද බාලවස්කාර දැරියන් විවාහ කරගැනීම අනිවාර්යය බව උලමා සංවිධානයේ අදහසයි. 

වසර නවයක් තිස්සේ ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙන තුරු ඔවුන් කල් බලා සිටියහ. එහෙත් ඔවුන්ට තවමත් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි විය. ආසියාවේ දූපතක ඔවුන් තරම් දුක් විඳින ජාතියක් තවත් නැතැයි නොසිතමි. 

මා සිතනාකාරයෙන් මහා ජාතියේ ආශිර්වාදය ඔවුන්ට හිමි විය යුතුය. ඔවුන්ගේ සටන වෙනුවෙන් අප ද එක්විය යුතු අවස්ථාවකි යැයි සිතමි. ගැහැණිය ගැන දන්නේ පිරිමියාට වඩා තවත් ගැහැණියකි. පිරිමිකම සෑමවිටෙකම පිහිටන්නේ කාන්තාව නැමැති චරිතයට විරුද්ධ පාර්ශවයේය. 

ඔබ කාන්තාවක් නම්, ඔබගේ සහෝදර ජාතියේ කාන්තාවන්ට මේ උදව් අවැසිම මොහොතකි. ඔවුන් වෙනුවෙන් හඬක් නැගීමට ඔබත් එකතුවෙන්න. නැවත සටහන් කරමි. මහා ජාතියේ වගකීම සුළු ජාතිය රැක බලා ගැනීමය. එසේ නොමැතිව ඔවුන්ව හෙලා දැකීම නොවේ ය. 

කාන්තාවක වීම වරදක් නොවේය. කාන්තාවක වීම වාසනාවන්තය. මන්ද සියල්ල උපදින්නේ ගැහැණිය තුළිණි. එහෙත් එය කාන්තාව විසින් ලෝකයාට ඒත්තු ගැන්විය යුතු පසුබිමක අප ජීවත්වෙමින් සිටින්නෙමු. 

Update :- ලිපිය පැරණිය ; මාතෘකාව ලිපියට වඩා ඉපැරණිය ; ඔවුන් තවමත් තනි සටහනක යෙදෙන්නෝය. 

0 comments:

Post a Comment